ලංකාවේ 2022 වර්ෂයේ මුල් භාගයේ සිට මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටී. මෙහි මූලික ම අරමුණක් වන්නේ රජයේ වියදම් කපා හැරීම හා ආදායම් ඉහළ දමා ගැනීම තුළින් ණය බර අඩු කර ගැනීමයි. එසේත් නැතිනම් ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි.
පටි තද කර ගැනීම (austerity) ලෙස හැඳින්වෙන්නේත් මේ ක්‍රියාවලියයි. 2023 වර්ෂයේ ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවට අනුව ලංකාව ආදායම් මත පදනම් වූ ආදායම් එකාග්‍රතාවයක් අත්පත් කර ගත යුතු අතර ඒ සඳහා දරා ගත නොහැකි ලෙස ජනතාව මත බදු ගැසීමට රජය කටයුතු කරමින් සිටී.
මූල්‍ය අරමුදලේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ ලංකාවේ ප්‍රාථමික හිඟය (වර්තන වියදම් හා ආදායම් අතර වෙනස) ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස -3.8%. එනම් ලංකාවට තම වර්තන වියදම් පියවා ගැනීමට පමණක් ද. දේ. නි 3.8% බාහිර මාර්ගයන් (ණය) මගින් මූල්‍යනය කරන්නද සිදු වෙයි. මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ මේ ප්‍රාථමික හිඟය 2026 වර්ෂය වන විට ද. දේ. නි 2.3 %ක අතිරික්තයක් බවට පත් කර ගත යුතු බවයි.
මේ සඳහා රජයේ වියදම් කපා දැමීම හා ආදායම් ඉහළ දමා ගැනීම සඳහා රජය කටයුතු කර යුතු අතර ඒ සඳහා රජය ගන්න ලද ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් පහත පරිදි වෙනවා.
– ජනතාවට ලබා දෙන සහනාධාර කප්පාදුව (ඉන්ධන සහනාධාරය, විදුලි බිල්පත් සහනාධාරය)
– වැට් බදු වැඩි කිරීම, ආදායම් බදු වැඩි කිරීම, උපයන විට ගෙවන බදු වැඩි කිරීම
මූල්‍ය අරමුදලට අනුව මෙලෙස “පටි තද කර ගත් විට” අපේ ණය බර අඩු වී ණය ගෙවීමේ හැකියාව වර්ධනය වෙයි. ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ණය හිමියන් ණය කපා දැමිය යුතු බවත් අරමුදල නිර්දේශ කරනවා. ඒ අනුව අරමුදල බලාපොරොත්තු වෙන්නේ සෑම වසරකම ඩොලර් බිලියන 3 ක පමණක් ණය කැපීමක් ණය හිමියන් කරනු ඇති බවත්. 2027 වන විට ලංකාවේ ණය ද. දේ. නි 95% ක් පමණ වෙන ලෙස මෙම ණය කපා හැරීම සිදු කළ යුතු බවයි.
ඒ අනුව අපිට පැහැදිලි වෙන්නේ කුමක්ද? ලංකාව ණය තිරසාර බව අත්පත් කර ගැනීමට කාරණා දෙකක් අවශ්‍යයි.
ලංකාවේ රජය ණය ගෙවීමට හා වෙනත් වියදම් කිරීමට ඇති හැකියාව ඉහළ දමා ගැනීම.
ණය හිමියන් විසින් රජයට ආදායම් වෙනත් වියදම් සඳහා යෙදවිය හැකි ආකාරයෙන් ණය කපා හැරීම (ලංකාවේ විශාලම වර්තන වියදම ණය පොලී යුතු ගෙවීම වන අතර එය සමස්ත වියදමෙන් 40% කටත් ඉහළයි).
මෙහිදී පැහැදිලි වන අනෙක් කාරණය කුමක්ද? වැඩිපුර ණය කපා හරින්නේ නම් පටි තද කර ගැනීම (අය වැය හිඟය අඩු කරන ප්‍රමාණය) අඩු කර ගත හැකි බවයි. ඒ කියන්නේ රජයට ආර්ථිකය තුළ වියදම් කිරීමට ඇති හැකියාව වැඩි වී ජනතාව බදු ගෙවිය යුතු ප්‍රමාණය අඩු වෙනවා.
මූල්‍ය අරමුදල විසින් කරන ලද “ණය තිරසාර බව පිළිබඳව වූ විශ්ලේෂණයක්” මත තමයි මේ වන විට ලංකාව ආදායම් වැඩි කර ගත යුතු හා වියදම් කපා දැමිය යුතු ප්‍රමාණය තීරණය කර තිබෙන්නේ. අරමුදල මේ විශ්ලේශනය මාස ගණනක් රහසිගත ලෙස තබා ගත් අතර එය පොදු ජනතාවට හෙළි කරනු ලැබුවේ පසූ ගිය (2023) මාර්තු 22 වන දිනයි.
මේ විශ්ලේශනය ගැටලුකාරී වන ප්‍රධානම හේතුව වන්නේ 2026 වර්ෂය වන විට 2.3% ක ප්‍රාථමික අතිරික්තකයකට ළඟා වීමට ලංකාවට හැකියාවක් තිබේද යන කරුණ සහ ඇත්ත වශයෙන්ම මේ මගින් ලංකාවේ ණය නැවතත් ගෙවිය හැකි හා තිරසාර මට්ටමකට අධිකතර සමාජ හානි නැතිව ළඟා විය හැකිද යන්නයි.
ස්වෛරීත්ව ණය පිළිබඳ අධ්‍යයනය කරන පිරිස් පවසන්නේ මේ ආකාරයෙන් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් ඉල්ලා සිටීම ඇත්තටම ලංකාවට අවාසි සහගත බවත් එය අනවශ්‍ය බවත්ය.
ඇමරිකානු ආර්ථික විශේෂඥයෙක් වෙන බ්‍රැඩ් සෙට්සර් ට අනුව මූල්‍ය අරමුදල විසින් යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලංකාවේ ණය තිරසාර කිරීමට ප්‍රමාණවත් නොවේ. ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ 2027 වර්ෂය වන විට ලංකාව 95% ක ද. දේ. නි සාපේක්ෂ රාජ්‍ය ණය මට්ටමක් පවත්වා ගනිමින් නැවතත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපළට ප්‍රවේශ වීම ලංකාව නැවතත් බංකොලොත් වීමේ මාර්ගයට යොමු කරන බවයි. ප්‍රමාණවත් තරම් ණය කපා දැමීමක් සිදු නොවෙන බව ඒ අනුව ඔහුගේ මතයයි.
මූල්‍ය අරමුදලේ හිටපු ආර්ථික විශේෂඥයෙක් වෙන් පීටර් ඩොයිල් ට අනුව මෙවැනි බරපතල පටි තද කර ගැනීමකට ලංකාව ලක් වීම අනවශ්‍ය වන අතර එය විසින් බරපතල ලෙස ආර්ථික වර්ධනයට හානි කරමින් ණය බර තවත් වැඩි කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ හොඳම සමකාලීනයන් වන චීනය, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් දශකයක් පමණ පවත්වා ගෙන ආ ප්‍රාථමික හිඟයේ සාමාන්‍ය -2 ක් වන අතර 2027 වර්ෂයේ තෙක් මූල්‍ය අරමුදල විසින්ම එම රටවල් සඳහා ප්‍රක්ෂේපණය කරන ප්‍රාථමික හිඟය -1.5 පමණ වෙන බවයි..
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ලංකාව අත්පත් කර ගත නොහැකි හා අනවශ්‍ය පටි තද කර ගැනීමකට ලක් කර ඇති බවත් ඒ අනුව ආර්ථිකය අනවශ්‍ය ලෙස හැකිලීම නිසාවෙන් රට නැවතත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත් විය හැකි බවත්ය.
අපි මෙතනදි විමසා බලමු පටි තද කර ගැනීම නිසා කොහොමද ආර්ථිකය අවපාතයක් වෙත තල්ලු වෙන්නේ කියලා.
රජය විසින් කරන වියදම නිකම්ම වියදමක් විතරක් නෙවෙයි ආයෝජනයක්ද වෙනවා. උදාහරණයක් ලෙස රජය ඉන්ධන සහනාධාරය ලබා දීම නිසා තෙල් මිල අඩු වීම විසින් ජනතාවට ආර්ථික කටයුතුවලට සහභාගි වීමට ඇති අවස්තාව පුළුල් කරනවා. රජය විදුලි බිලට සහනාධාරය ලබා දීම නිසාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදනය වියදම අඩු කර ඔවුන්ව තරඟකාරී කරනවා. පොලී අනුපාත අඩු කිරීම නිසාවෙන් නිෂ්පාදකයින් මූල්‍ය සඳහා දැරිය යුතු මිල අඩු වී නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කරනවා.
පසු ගිය වසරේ රජය විසින් මේ ආකාරයෙන් පටි තද කර ගැනීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ ආර්ථිකය 7.8 % කින් හැකිලීම යි. එය අවසාන කාර්තුවේදී 12% කින් හැකිලී තිබෙනවා.
මේ ආකාරයට 2016- 2019 මූල්‍ය අරමුදල වැඩසටහන් කාලයේදීත් ලංකාවේ ආර්ථිකය සෑම වසරකම පාහේ හැකිළී ගිය අතර මූල්‍ය අරමුදල විසින් ප්‍රක්ෂේපණය කරන ලද ආදායම් වැඩි කිරීම හෝ ප්‍රාථමික හිඟය අඩු වීම සිදු වූයේ නැහැ. ආර්ථිකය අවපාතයකට තල්ලු වෙද්දීත් රනිල් වික්‍රමසිංහ රජය එදා කළේ නැවතත් ජාත්‍යන්තර වෙළඳපලේ ණය ගැනීමයි. ඒ අනුව ලංකාව 2020 වර්ෂයේ වසංගතය විසින් ආර්ථිකය විනාශ කරන ලද වර්ෂයට ඇතුළත් වෙන්නේ ද.දේ. නි. 100% කට අධික රාජ්‍ය ණය ප්‍රමාණයක් උරුම කර ගනිමින්.
පිටර් ඩොයිල් ප්‍රකාශ කරන්නේ ආර්ථික වර්ධනයට හානි කරන අය වැය ප්‍රතිපත්ති (මෙය රජය හිතාමතා කරන දෙයක්) විසින් ණය ගෙවීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවට ණය බර වැඩි කරන බවත් ණය උගුල්වලට රටවල් පටලවන බවත්ය. ඔහුට අනුව මූල්‍ය අරමුදල විසින් මේ ආකාරයෙන් අධිකතර වූ අය වැය ගැලපීම් ඉල්ලා සිටීම දඬුවමක ස්වභාවයක් ගනී (punitive). ඔහු දක්වන්නේ මෙය ස්වෛරීත්ව ණය ගැතියන්ගේ හිර ගෙයක් බවයි. (Sovereign debtors’ prison) මීට ශතවර්ශ කිහිපයකට පෙර ණය ගැතියන්ට ණය ගෙවා ගත නොහැකි වූ විට ඔවුන්ව සිරගත කළා. මේවා හඳුන්වන ලද්දේ “ණයගැතියන්ගේ සිරගෙවල්” ලෙසයි. ණයගැතියා සිර ගත කළ විට ඔවුන්ට නැවත ණය ගෙවා ගැනීම සඳහා ආර්ථික ක්‍රියාවලියක යෙදෙන්නට බැහැ. නමුත් ඔවුන්ගේ පවුලේ අයට සිදු වන්නේ සියල්ල විකුණා හෝ නැවත ණය ගෙවා ණය ගැතියා නිදහස් කිරීමට.
දැන් අපි කරන්නෙත් ඒක නේද?
රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ රජයන් වැරදි ආර්ථික ප්‍රතිපත්ති (විශේෂයෙන්ම මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්) ලංකාව බංකොලොත් කර ආර්ථික වර්ධනයක් අත් පත් කර ගත නොහැකි ණය සිරගෙදරක සිර කර තිබෙනවා. ණය ගැතියා (ලංකාව) නිදහස් කිරීමට ඔවුන්ට ආදරය කරන අය සියල්ල කැප කරන ආකාරයෙන්ම ලංකාවේ ජනතාව බදු ගෙවමින්, ජාතික සම්පත් විකුණමින් හා ඉතුරුම් කැප කරමින් (දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම හරහා) ලංකාව බේරා ගැනීමට ණය ගෙවමින් ඉන්නවා. අපි ඇත්ත වශයෙන්ම කරන්නේ රනිල්ට නැවතත් 2027 වර්ෂයේ දී පුද්ගලික හා ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ගන්න පුළුවන් වෙන්න අපේ දරුවන්ගේ අනාගතය කැප කිරීම නේද? (Bailing out the elite)
මූල්‍ය අරමුදල 2023 වර්ෂයේ අප්‍රේල් 7 වන දින නිකුත් කරන ලද World Economic Outlook වාර්තාවේ ඔවුන්ම පිළිගන්නවා පටි තද කර ගැනීම නිසා ආර්ථික වර්ධනය අඩාල වීම නිසාවෙන් රටවල්වලට ණය තිරසාර බව අත්පත් කර ගැනීමට නොහැකි වෙන බව. එසේ තිබියදීත් ඔවුන් ලංකාව අසාධාරණ හා අසාර්ථක පටි තද කර ගැනීමකට ලක් කර දඬුවම් කරමින් සිටිනවා.
විශේෂයන්ම ගෝලීය මූල්‍ය තත්ත්වය අස්ථායි අවස්ථාවන්වලදී පටි තද කර ගැනීම අසාර්ථක විය හැකියි. ඒ අනුව වසංගතයකින් හා යුද්ධයකින් පීඩා විඳින ගෝලීය ආර්ථික පරිසරයක් තුළ මේ ආකාරයෙන් දරදඬු පටි තද කර ගැනීමකට ලංකාව ලක් කිරීම ලංකාවේ ජනතාව නැවතත් අනතුරේ දමනවා.
පටි තද කර ගැනීම වෙනුවට අපිට අවශ්‍ය මොකක්ද?
අපිට මේ වෙලාවේ අවශ්‍ය ආර්ථිකයට හුස්ම ගන්න පුළුවන් ආකාරයේ ණය කැපීමක්. විශේෂඥයින් පෙන්වා දෙන්නේ ලාංකාවේ හොඳම සමකාලීනයන්ට සාපේක්ෂව ලාංකාවේ ප්‍රාථමික අතිරික්තය අධිකතර නිසාවෙන් ආර්ථිකයට හා ජනතාවට හුස්ම ගත හැකි ප්‍රාථමික ඉතිරියක් නියම කළ යුතු බවත් (එය හොඳම තත්වයන්වල්දීත් – 1.5% කට අධික නොවීය යුතු බවත්ය.
ඒ අනුව අධිකතර බදු ගෙවීම හා සහනාධාර කප්පාදුව වෙනුවට වැඩියෙන් ණය කපා දැමිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
මූල්‍ය අරමුදල විසින්ම පිළිගන්නා ආකාරයට ලංකාවේ පාලකයින් දූෂිත නිසාත් (ඔවුන් දූෂණ විරෝධී පනතක් ඉල්ලා සිටිනවා) විශේෂයෙන් පුද්ගලික ණය හිමියන් විසින් මේ වන විටත් අධිකතර පොලී හරහා ණය නැවත අය කර ගෙන ඇති නිසාත් මේ ආකාරයෙන් ගැඹුරු ණය කැපීමක් අපි ඉල්ලා සිටිය යුතුයි.
මස් රාත්තලම ඉල්ලමින් ණය හිමියන් කටයුතු කිරීම නිසාවෙන් ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසාවෙන් එක්සත් ජාතීන් විසින් 2015 දී ණය ප්‍රතිවුහගත කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන්වලට අනුව ණය කපා දැමීමේ ක්‍රියාවලියක් අවශ්‍ය බව අපි ඉල්ලා සිටිය යුතුයි.
මේ වෙලාවේ අසාර්ථක හා දූෂිත රජයන් ලබා ගත් ණය සඳහා කම්කරුවන්, තරුණයින් ,ළමුන් සහ විශ්‍රාමිකයන් වන්දි ගෙවමින් සිටිනවා. ඒ වෙනුවට සිදු විය යුත්තේ ආර්ථික වර්ධනයට ඉඩ ඇති, සාධාරණ ණය කැපීමක් ලංකාවේ රජය ඉල්ලා සිටීමයි.
සටහන – ලක්මාලි හේමචන්ද්‍ර
Comments (1)
👍👍👍