බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

(ප්රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද  ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්රණයේදී ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්යේෂ්ඨ සහකාර ලේකම්  කේසර කෝට්ටේගොඩ විසින් සිදු කළ අදහස් දැක්වීම.)

 

2021 වර්ෂයේ අයවැය තුළ රුපියල් බිලියන 2029ක් රජයේ ප්‍රදාන හා ආදායම් ලෙස සැලසුම් කළත් ඇත්තටම ලැබුණේ රුපියල් බිලියන 1561ක් පමණයි. මෙයින් රජයේ ආදායමෙන් සාතිශය බහුතරයක් වන්නේ බදු ආදායම්. රුපියල් බිලියන 1724ක් රජයේ බදු ආදායම් ලෙස සැලසුම් කළත් ඇත්තටම ලැබුණේ රුපියල් බිලියන 1325ක් පමණයි. 2021 වර්ෂය තුළ බදු ආදායම වන මෙම රුපියල් බිලියන 1325 තුළ වක්‍ර බදු ප්‍රතිශතය 77.9% ක් හා ඍජු බදු ප්‍රතිශතය 22.1% ක්.

 

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පොදු අදහසක් තමයි බදු වැඩි කරන එක හොඳයි. බදු අය කරන්නේ ඇති හැකි අයගෙන් කියන එක. නමුත් ලංකාවට අදාළව මෙම තත්වය හාතිපසින්ම වෙනස්. ලංකාවේ සමස්ථ බදු ආදායමෙන් 80% ආසන්න ප්‍රමාණයක් ගන්නේ වක්‍ර බදු. උදාහරණ ලෙස ඉන්ධන සැලකුවොත් ඉන්ධන මිල වැඩි වෙන්න කලින් රුපියල් 136 ට පැවති අවස්ථාවේ එක ලීටරයකින් රුපියල් 65ක විතර බද්දක් රජය ගත්තා. එලෙසම මතපැන් හා දුම්කොළ මත විශාල බද්දක් අය කරනවා. මේවායේ මිල වැඩි වීම සාධාරණයි කියලා තිබෙන සමාජ මතයත් එක්ක විශාල ප්‍රතිශතයකින් බදු අය කරනවා. නමුත් මේ බදු ගෙවන්නෙත් මේ රටේ සාමාන්‍ය ජනතාව නැතහොත් වැඩ කරන ජනතාව.

 

එමෙන්ම අපි හිතනවා බදු ආදායමින් 20% ගෙවන්නේ ඉහළ ව්‍යාපාරිකයින් කියලා. නමුත් ඍජු බදු ආදායමින් වැඩි බහුතරයක් ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. නිදසුනක් ලෙස සේවක අර්ථසාදක අරමුදල දක්වන්න පුලුවන්. අර්ථසාදක අරමුදල තමන්ගේ ගිණුම් එළිදක්වා ඇති 2019 වසරේ රුපියල් බිලියන් 34 ක් රජය සේවක අර්ථසාදක අරමුදලින් බදු විදියට අය කරගෙන තියෙනවා. සෑම වසරකම මෙම ප්‍රමාණය බිලියන් 4කින් පමණ ඉහළ යනවා. ඒ අනුව 2021 වර්ෂයේ බදු ආදායමෙන් බිලියන 45කට ආසන්න මුදලක් අය කරගෙන ඇත්තේ සේවක අර්ථ සාදක අරමුදලෙන්. ඍජු බදු ආදායමින් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ විදියට සමාජ ආරක්ෂණ අරමුදල් වලින් අය කරන අතර එහි බර උසුල්නනෙත් මේ රටේ සාමාන්‍ය ජනතාව නැතහොත් වැඩ කරන ජනතාව.

 

ඒ අනුව වැඩ කරන ජනතාව එනම් රාජ්‍යය අංශය, පෞද්ගලික අංශය, ගොවියා, කම්කරුවා, ධීවරයා ආදී මේ කියන සෑම පාර්ශවයකටම බදු ප්‍රතිපත්තියට සංශෝධන එකතු කරන්න පොළඹවන්න අවශ්‍යයි. ඕනෑම ආර්ථික අර්බුදයක් ආවම රජය ව්‍යවසායකයින්ට බදු සහන ලබා දෙන්න පෙළඹුනත් සේවකයන්ට, වැඩ කරන ජනතාවට සහන ලබා දෙන්නේ නෑ. වැඩ කරන මිනිස්සුන්ගේ වැටුපටත් බදු අය කරනවා. නමුත් මේ ව්‍යාපාරිකයින්ට ලබා දෙන බදු සහන මහජනතාවට ගලා ගෙන එන ක්‍රමවේදයක් සකස් කරන්නේ නෑ. ඔවුන් තමන්ගේ ලාභ උපරිම කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස තමයි බදු සහන භාවිතා කරන්නේ.

 

ඍජු බදු ගෙවන අනිත් ප්‍රධානතම ආයතන වෙන්නේ රාජ්‍ය ව්‍යවසායන්. නිදසුනක් ලෙස මූල්‍ය කේෂ්ත්‍රයේ ඉහළින්ම ඉන්නේ රාජ්‍ය බැංකු. සාමාන්‍යයෙන් බැංකු තමන්ගේ ලාභයෙන් 60%කට වඩා බදු ගෙවනවා. සමාජ ආරක්ෂණ අරමුදල් හා රාජ්‍ය ව්‍යවසායන් යන දෙකම එකතුව ගෙවන බදු සැලකුවම පෞද්ගලික ව්‍යවසායන් ගෙවන බදු මුදල ඝජු බදු ප්‍රතිශතයෙන් 50% වඩා අඩුයි. පුද්ගලික අංශය ශක්තිමත් කරන්න අවශ්‍යයි, අයෝජන දිරි ගන්වන්න අවශ්‍යයැයි දැක්වුවට ඒ හරහා රජයට ලැබෙන ආදායම ඉතාම සීමිතයි. පුද්ගලික අංශය බදු නොගෙවා ඉන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. බදු උපදේශකයින් කියලා පිරිසක් ඉන්නවා. සමාගම් ගණනාවක් ලියාපදිංචි කරනවා. බදු කියන එක ගැන කතා කරනකොටම ඕනෑම අයෙක්ට එන පළමු අදහස තමයි බදු නොගෙවා ඉන්නේ කොහොමද කියන එක. දෙවැනි එක තමා ගෙවනව නම් අඩුවෙන් ගෙවන්නේ කොහොමද කියන එක. නමුත් රාජ්‍ය ව්‍යවසායන් හා සමාජ ආරක්ෂණ අරමුදල් රජය පවරන බදු අභියාචනා නොකර එලෙසින්ම ඒ ආකාරයෙන්ම ගෙවනවා. මේ කරුණු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී අවධානයට යොමු කළ යුතු යි.

 

අනෙක් අතට බදු ගෙවන පිරිසට තමන් ගෙවන බදු හරහා රජයන් සිදු කරන ක්‍රියාවලි ගැන කිසිම පැහැදීමක් නොමැති වීමත් ඒවායින් ලැබෙන් ප්‍රතිලාභයන් ගැන අවබෝධයක් නොමැති වීමත් ආදිය නිසාම ඇතැම් පිරිස් බදු ගෙවීම පැහැර හැරීමට කටයුතු කරන ආකාරයකුත් හදුනා ගන්න පුළුවන්. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ටියුෂන් ගුරුවරුන්ගෙන්, නීතීඥයින් ඇතුළු වෘත්තිකයින්ගෙන් බදු අයකරගැනීම සම්බන්ධව උපායමාර්ගික ප්‍රවේශයක් ඇත්තේ නෑ. ආණ්ඩුවම රාජ්‍ය අංශය දුර්වලයි, එය කප්පාදු කළ යුතුයි ආදී ලෙස සමාජ මතයක් හදනවා. මේ නිලධාරින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය සංවිධිත කිරීම හරහා බදු ආදායම වැඩි කර ගන්නත්, වක්‍ර බදු හා ඍජු බදු අතර අනුපාතය අඩු කිරීමටත්, බදු ගෙවීම පැහැරහරින්නන්ගෙන් බදු අය කරගැනීමටත් යොදවන්න පුළුවන්. නමුත් කිසිම පාර්ශවයක් මේ වගේ අදහසක් ඉදිරිපත් කරනවා අපි දකින්නේ නෑ. ජනතාවත් හිතනවා බදු ප්‍රතිපත්තියක් හදන එක අපේ වැඩක් නෙවෙයි කියලා. නමුත් එවන් ක්‍රියාවලියක් තුළට සෑම පාර්ශවයකගේම අදහස් ඇතුළත් කරගත යුතු යි.  සෑම පාර්ශවයක්ම අදහස් ඉදිරිපත් කළ යුතු යි. විශේෂයෙන් වැඩියෙන්ම බදු ගෙවන සාමාන්‍ය ජනතාවගේ නැතහොත් වැඩ කරන ජනතාවගේ අදහස් ඇතුළත් කර ගන්න අවශ්‍යයි.  

 

බදු වගේ සාකච්ඡාවක් කරළියට එන්නේ හරි අඩුවෙන්. සාමාන්‍ය මිනිස්සුන්ට විශේෂයෙන් ආන්තික ජන කොටස් වලට ඒතතු ගන්වන්න අවශ්‍යයයි ඔවුන් තමයි බදු ගෙවන්නේ කියන පණිවිඩය හා බදු ගෙවන ක්‍රියාවලිය විධිමත් කරන්න ඔවුන්ගේ දායකත්වය අවශ්‍ය බව. ඒ හරහා සියලු දෙනාට සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. බදු ලබා ගත යුතු පාර්ශවයන්ගෙන් බදු අය කරගැනීමට මෙන්ම ආන්තික ජනකොටස් වලින් අයකරන වක්‍ර බදු ඉවත් කර ගැනීම මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.

 

IMF එක කියනවා රාජ්‍ය ආදායම වැඩි කරන්න කියලා. එතකොට ආණ්ඩු කරන එකම දේ බදු ආදායම වැඩි කරනවා. IMF එක කියනවා රාජ්‍ය වියදම අඩු කරන්න කියලා. එතකොට ආණ්ඩු කරන එකම දේ සුබසාධන වියදම් කපා හරිනවා. IMF එකට හැකි වෙන්න ඕනේ තමන්ගේ පසු විපරමේදී ආදායම වැඩි කර ගන්න කිව්ව ගමන් බදු වලින් විතරක් ආදායම වැඩි කර ගන්නව නම් ඒක වැරදි බව රජයට නිර්දේශ කරන්න හා රාජ්‍ය වියදම් කප්පාදුවේදී සුබසාධනය කප්පාදු නොකර වෙනත් අනවශ්‍ය වියදම් කප්පාදු කරන්න නිර්දේශ කරන්න. නමුත් මීට පෙර 2015 දී වුවත් එවැනි ආදර්ශමත් වියදම් කප්පාදුවක් දැක්කේ නෑ. පෞද්ගලිකකරණය කරනවා කියලා කියනවා ඇරෙන්න රාජ්‍යය ව්‍යවසායන් වර්ධනය කරන්න හා ඒ හරහා රාජ්‍යය ආදායම වැඩි කරන්නේ කොහොමද කියලා යෝජනාවක් අපි දැක්කේ නෑ. රාජ්‍යය ආයතන පාඩුයි නම් පාඩුවට විසදුම විකිණීම නොවෙයි.   

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *