වීරවංශගේ අධිරාජ්‍ය විරෝධය සහ අපේ අධිරාජ්‍ය විරෝධය

පසුගිය දා (අප්‍රේල් 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රධාන බලවේග දෙකකි ; ඒ ජාතික ජන බලවේගය සහ උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂය. උත්තර ලංකා සභාගයේ නායකයන් අතුරින් කැපී පෙනෙන චරිතයක් වන්නේ හිටපු ඇමති විමල් වීරවංශ ය. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට ලංකාවේ ආණ්ඩුව පත්ව තිබෙන තතු යටතේ, එම රූකඩ තත්ත්වය විවේචනය කරන ප්‍රධාන විවේචකයෙක් ලෙස ද විමල් වීරවංශ මතු ව සිටී. මෙම විවේචනය සමග හේ ජාත්‍යන්තර දේශපාලනය පිලිබඳ විශ්ලේෂණයක් ද ඈඳයි. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල අධිරාජ්‍යවාදී බලය දුබල වීම හා චීනයේ නැගීම සමග බහුධ්‍රැවීය ලෝක පර්යායක් මතුවීම ආදිය පිළිබඳ ප්‍රශංසාත්මකව කථා කරන හෙතෙම, ලංකාවේ ස්වාධිපත්‍යය හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි වීම පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයන් ද කරනු දක්නට ලැබේ.

මෙහි දී නොවැලැක්විය හැකි ලෙස මතු වන එක් ප්‍රශ්නයක් තිබේ. ‍ගෝලීය ධනවාදය, එම ධනවාදයේ ආධිපත්‍යය දුබල රටවල් මත පැටවීම සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බඳු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ ව වාමාංශය ද බෙහෙවින් විවේචනාත්මකය. ප්‍රතිවාද සාමූහිකය ලෙස අපගේ ප්‍රධාන ආස්ථානයක් වන්නේ ගෝලීය ධනවාදය සම්බන්ධ; විශේෂයෙන් සමකාලීන ගෝලීය ධනවාදයට අදාළ හෙජමොනික නායකත්වය සපයන එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල සම්බන්ධ වූ විවේචනය යි. අපගේ මෙම විවේචනය සමකාලීන ලාංකීය වාමාංශික කතිකාව තුල තරමක ‘අසාමාන්‍ය′ යමක් ලෙස ද සනිටුහන් වන බව පෙනේ. බහුධ්‍රැවීය අන්තර්ජාතික පද්ධතියක් ගැන කථා කරන විට, අපට ලැබෙන එක් ප්‍රතිචාරයක් වන්නේ ‘උඹලා කියන දේ විමල් වීරවංශ කියන එක වගේ නැද්ද?′ යන්නය.

 

අධිරාජ්‍ය විරෝධය ‘අතපසු’ වීම

අධිරාජ්‍යවාදයට එරෙහි විරුද්ධත්වය යනු ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළ යුගයේ සිට වාමාංශික සටන් පාඨයක් විය. නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවාදය බලවත් වූ 2005 ට පසු යුගයේ සිට, මෙරට වාමාංශික කතිකාව තුල ‘අධිරාජ්‍යවාදය′ වෙත වූ සැඳහුම දුර්වල වී තිබෙන හැටි අපට දක්නට පුලුවන. මීට දශක තුනකට පෙර, 1990 වසරේ දී, බටහිර රටවල වාමාංශික සාකච්ඡාව තුළ අධිරාජ්‍යවාදය සම්බන්ධ විවේචනය දුර්වල වී තිබෙන ආකාරය ගැන විස්සෝප වූ ඉන්දීය මාක්ස්වාදී ශාස්ත්‍රඥ ප්‍රභාත් පට්නායික් whatever happened to imperialism? [අධිරාජ්‍යවාදයට මොකක්ද සිද්ධ වුණේ?] නමින් විශිෂ්ට ලිපියක් ලීවේ ය. මෙම මාතෘකාව ලංකාවේ ලිබරල්කරණය වූ වාමාංශික කොටස් සම්බන්ධයෙන් ද බෙහෙවින් අදාළ ය.

මේ තත්ත්වය සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව නම් අධිරාජ්‍යවාදය සම්බන්ධ විවේචනය රාජපක්ෂවාදය විසින් අනුග්‍රහණය (co-opt) කරගනු ලැබීම ය. මෙම අනුග්‍රහණය සඳහා විමල් වීරවංශගේ බලවේගය විසින් කළ සම්මාදම අති මහත් ය. රාජපක්ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් ලෙසට චිත්‍රණය වූ අතර, අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී බලවේගයක් ලෙසට රාජපක්ෂවාදය භෞතිස්ම විය.

අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය මෙලෙස රාජපක්ෂවාදය සතු වීමත් සමග, මෙරට වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග අධිරාජ්‍යවාදය යන වචනය පාව්චිචි කිරීමට ප්‍රවේශම් වන ගතියක් දක්නට ලැබුණි. රාජපක්ෂවාදී කඳවුර විසින් අධිරාජ්‍යවාදය යන්න අරුත් ගැන් වූ අතිශය ග්‍රාම්‍ය ආකාරය තුළ අධිරාජ්‍ය විරෝධය යන්න විහිලුවක් වන තත්ත්වයක් පවා උද්ගත වූ අතර [ගූගල් හා කොකා කෝලා වර්ජනය]  මෙම විසිලු සහගත ප්‍රතිරූපයෙන් තමාව දුරස් කරගැන්මට දරන උත්සාහය තළ අධිරාජ්‍යවාදය සම්බන්ධ විවේචනය මතු නොකෙරන තැනටම මෙරට ප්‍රගතිශීලී හා වාමවාදී බලවේග තල්ලු වන සෙයක් පසුගිය කාලයේ සනිටුහන් විය.

මෙම ප්‍රවණතාවයේ උග්‍රතම ප්‍රකාශනය වූයේ සිංහල අන්ත ජාතිකවාදය සහ අධිරාජ්‍ය විරෝධය සමග රාජපක්ෂවාදී ව්‍යාපෘතිය සිදුකල සුසම්බන්ධය අබියස, සිංහල අධි ජාතිකවාදයට විරුද්ධ ප්‍රගතිශීලී පිරිස් අධිරාජ්‍ය විරෝධය ද සිංහල ජාතිකවාදය සමගම බැහැර කරන ස්ථාවරයකට තල්ලු වීම යි. අධිරාජ්‍යවාදය ගැන විවේචනය විමල් වීරවංශගේ ග්‍රාම්‍ය කුමන්ත්‍රණ න්‍යාය සමග සමපාත කොට වටහා ගන්නා තැනකට ලඝු වූ ඔවුන් සිංහල ජාතිකවාදයට හා රාජපක්ෂවාදයට විරුද්ධ වීමේ ක්‍රියාවලිය තුළ අධිරාජ්‍යවාදය සම්බන්ධ වූ විවේචනය අත්හළ හ. රාජපක්ෂ ආණ්ඩුව චීනයට සමීප වීම නිසා, මොවුන්ගේ රාජපක්ෂ විරෝධී කතිකාවට චීන විරෝධී මානයක් ද එකතු විය. මාරාන්තික ලෙස චීනයට විරුද්ධ, IMF සංවිධානය ප්‍රමුඛ ගෝලීය ධනවාදී ව්‍යාපෘතියට ‘එතරම්ම′ විරුද්ධ නැති අමුතු ගණයේ ප්‍රගතිශීලී සත්ව කොට්ඨාසයක් මෙරට බිහිව තිබෙන්නේ මෙහි ප්‍රතිඵල ලෙසටය.

‍ෆොයාබාහ් ඇතුලු එතෙක් කල් සිටි භෞතිකවාදීන් යථාර්තය සංජානනය කරන විට, යථාර්තයේ වූ ඓන්ද්‍රීය මානවීය ක්‍රියාකාරීත්වය හසු කර නොගැනීමේ ප්‍රතිඵල ලෙසට, ‘ක්‍රියාකාරී′ පැතිකඩ තත්‍ය වූ ඓන්ද්‍රීය  ක්‍රියාකාරීත්වය නොදත් විඥානවාදීන් විසින් වියුක්ත ලෙස වර්ධනය කළ බවට කාල් මාක්ස් ෆොයාබාහ් පිළිබඳ තිසීස හි දී ලීවේය. මේ හා සමාන ලෙසකට අපට කිව හැක්කේ, රාජපක්ෂවාදයට බිය වූ මෙරට වාමාංශිකයන් අධිරාජ්‍යවාදය පිළිබඳ විවේචනය යට ගසා සිය දේශපාලන විවේචනය ඉදිරිපත් කිරීමේ ප්‍රතිවිපාක ලෙස ‒ අධිරාජ්‍යවාදය පිළිබඳ විවේචනය, තථ්‍ය වූ අධිරාජ්‍යවාදය පිළිබඳ නිසි ග්‍රහණයක් නොමැති ‘ව්‍යාජ′ අධිරාජ්‍ය විරෝධකයන් වන වීරවංශ බඳු ග්‍රාම්‍ය ජාතිකවාදීන් විසින් වර්ධනය කරන්ට යෙදුණු බව යි.

 

ස්වදේශිකවාදය හා ගර්භාෂ යුද්ධය

වීරවංශ පන්නයේ අධිරාජ්‍ය විරෝධය සහ ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධය අතර වෙනස කිම? මේ සම්බන්ධව කරුණු තුනක් සටහන් කිරීමට අපි කැමැත්තෙමු.

පළමුව, වීරවංශ පන්නයේ අධිරාජ්‍ය විරෝධය මතු වන්නේ පටු ස්වදේශිකවාදී [nativist] ආස්ථානයකිනි. ස්වදේශිකවාදීන් විදේශීය සියලු දෑ කෙරෙහි සැක සහිත මනසකින් යුක්ත ය. ස්වදේශිකත්වය යනු පරිපූර්ණ වූ සමස්තයක් ලෙසට ඔවුන් විශ්වාස කරති. විදේශයෙන් එන කවර හෝ දෙයක් ඔවුන් දකින්නේ මෙම පරිපූර්ණ වූ සමස්තයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසට ය.

මෙම මොඩලයේ ස්වදේශිකවාදය සම්බන්ධ සමකාලීන වඩාත් උග්‍රතම ප්‍රකාශනය ලෙස අපට දේශපාලන ඉස්ලාමය [political Islam] සැලකිය හැක. නිදසුන් ලෙස ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය බටහිර ආධිපත්‍යයට එරෙහි ය. ඒ සමග විදේශීය ලෙස සැලකෙන සියලු දෑ ‒ කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, සංස්කෘතික බහුවිධත්වය ආදී වූ සියලු ඇගයුම්වලට ද එරෙහිය. ගැහැණු ළමුන් පාසල් යාම ඔවුන් දකින්නේ සිය පරිපූර්ණ වූ සංස්කෘතික උරුමය ඛාදනය කරන්නක් ලෙසට ය.

වීරවංශ වර්ගයේ ජාතිකවාදය මෙබඳු ස්වදේශිකවාදයකට නිදසුනකි. මේ සම්බන්ධ කදිම නිදසුනක් ලෙස, ඔවුන් විසින් පවත්වාගෙන යන ‘අනාගතය අපි′ නම් වූ ෆේස්බුක් පිටුව ගත හැක. මෙම පිටුවට අනුව දික්කසාද වූ ස්ත්‍රියක් යනු ගර්හාවට ලක්විය යුතු අයෙක් නොව, සමාන ගරුත්වය සඳහා හිමිකම් ඇති අයෙකි යැයි කීම පවුල් සංස්ථාව බිඳ දැමීම සඳහා සිදු කරන බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. භික්ෂු සංස්ථාව තුල සිදුවන ළමා අපචාර ගැන කථා කිරීම සංස්කෘතියට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස දැකීම, පාසල්වල ලමුන්ට ශාරිරික දඩුවම් පැනවීමට එරෙහිව ලමා අයිතිවාසිකම්වල දෘෂ්ටියෙන් පෙනී සිටීම සංස්කෘතික වටිනාකම්වලට එරෙහි ආක්‍රමණයක් ලෙස දැකීම ආදී වූ මතවාද ගලා එන්නේ ද මෙන්න මේ දැක්ම තුළිනි. නවීකාරක අදහස් සම්බන්ධයෙන් ඔවුන් සංශයවාදීය ; එහෙම නැතිනම් ගෙඩිය පිටින් සතුරුය.

දෙවනුව, වීරවංශ පන්නයේ අධිරාජ්‍ය විරෝධය දේශපාලනය සම්බන්ධ වාර්ගික-ජාතිකවාදී වටහා ගැන්මක් සමග ගැට ගැසී තිබේ. වීරවංශගේ ජාතිය යනු සිංහල බෞද්ධ ජාතිය යි. සුලු ජන කොටස් බැහැර කිරීම මෙම ජාතිකවාදයේ පදනම් කොන්දේසිය යි.

සුලු ජන කොටස් සම්බන්ධ ව මෙම ප්‍රවණතාවය කෙතරම් අගතිගාමී ද යත් අවම වශයෙන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට පවා ඔවුන් විරුද්ධ ය. කිසිදු ආකාරයක බලය බෙදා ගැනීමක් දෙමළ ජනයා සමග සිදු කිරීමට විරුද්ධ ය. දෙමළ ජනයාට සුවිශේෂී වූ ජාතික පීඩනයක් තිබේ යැයි ඔවුන් පිලිගන්නේ ද නැත. දෙමළ සමාජය පාර්ශවයෙන් මතු වූ අතිශය මානුෂික ඉල්ලීම් වන අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු ලබා දීම, යුද්ධයෙන් අසරණ වූ අයට වන්දි ලබාදීම ආදී වූ යෝජනාවලට ද එරෙහි වූ කුප්‍රකට ඉතිහාසයක් මෙම ප්‍රවණතාවය සතු ය. යුද්ධ කාලයේ කොළඹ දෙමළ පාසල් සිසුන් පිරිස් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලූ නේවි සම්පත් හා ඒ සම්බන්ධ තොරතුරු යට ගැසූ වසන්ත කරන්නාගොඩ බඳු පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කිරීම මොවුන්ට අනුව රණවිරු දඩයමකි.

2018 පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිති, මුස්ලිම් සමාජය ආන්තික කිරීම සඳහා ‘ගර්භාෂ යුද්ධය′ බඳු වූ රෞද්‍ර ප්‍රබන්ධ සමාජගත කිරීමෙහිලා වීරවංශ වැනි අය පුරෝගාමී මෙහෙයක් ඉටු කළ හ. කොරෝනා නිසා මිය ගිය මුස්ලිම් වැසියන්ගේ මල සිරුරු භූමදානයට එරෙහිව අශික්ෂිත මතාන්තර ව්‍යාප්ත කිරීමෙහිලා ද ඔවුහු සම්මාදම් වූ හ.

අපට අනුව, අධිරාජ්‍යවාදී රටවල් අබියස ශක්තිමත් ලෙස නැගී සිටිය හැකි ලංකාවක් නිර්මාණය කිරීමට තිබෙන ප්‍රධානතම බාධාවක් වන්නේ ලාංකීය සමාජය ඇතුළින් භේද බින්න කිරීමට හේතුවන මෙම අධිපති වාර්ගික ජාතිකවාදය යි. නිදහසින් පසුව, ලාංකීය ජාතියක් නිර්මාණය කරගැන්මට නොහැකි වීම කෙරෙහි බල පෑ මූලික සාධකය සුලු ජාතීන් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියෙන් බැහැර කරන ලද සිංහල ස්වෝත්තමවාදය යි. සුලු ජාතීන්ගේ අභිලාෂයන් මුලුමනින්ම නොතකා හැර, මහ ජාතියේ අධිකාරිය ඔවුන් මත පැටවීමේ ප්‍රතිඵලය සුලු ජාතික කොටස් ආන්තික ආස්ථානයන් වෙත තල්ලු වී යෑම යි. මෙලෙස රට තුළ මතු වන ආතතීන් බාහිර බලවේග විසින් සිය වාසිය සඳහා කළමනාකරණය කරයි.

අසමගි වූ ජාතියකට, ශක්තිමත් ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටිය නොහේ. ජාතික නිදහස වෙනුවෙන් පෙනී සිටින අතර, රට තුළ සියලු ජනවර්ගවල සමතාවය වෙනුවෙන් දෘඩ ලෙස පෙනී උන් මෙරට පැරණි වාමාංශික ව්‍යාපාරයේ නායකයන් දැඩි ලෙස අවධාරණය කළ එම කරුණ නොතකා හැරීම ලංකා ඉතිහාසයේ සිදු වූ මාරාන්තික වරදකි.  

තෙවැනි කරුණ, වීරවංශ බඳු පිරිස් විශ්වාසය තබන දේශපාලන ව්‍යාපෘතියේ පන්තිමය ස්වභාවය යි. මේ වනවිට උත්තර ලංකා සභාගය වටා ඒකරාශී වී සිටින, බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල දේශපාලන නියෝජිතයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි. විමල් වීරවංශ තවම විස්සෝප වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයෙන් එලැවීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ පන්තිමය පසුබිම කවරක්ද? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලක්, මිලිටරිවාදී මනසින් යුක්ත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී සමූහයක් හා ‘වියත් මග′ ලෙස සංවිධානය වූ, සංරක්ෂණවාදී අදහස්වලින් හෙබි මධ්‍යම පන්තික වෘත්තිකයන් පිරිසක් එම ව්‍යාපෘතියේ අරටුව සංයුක්ත කළේ ය. කවර හෝ ප්‍රබුද්ධ ලෝක දැක්මකින් තොර මේ පිරිස්, හුදු කෙටිකාලීන ප්‍රතිලාභයන්ගේ ප්‍රේරණය වූ ස්ථරයකි.

ගෝඨාභය රාජපක්ෂ යුගයේ ආර්ථික ක්‍රියාවලිය සේවය කළේ ඔහු වටා වූ ව්‍යාපාරික වලල්ලේ අර්ථ සිද්ධිය වෙනුවෙනි. සමාජයේ පහල පාන්තික ජනයා බල ගන්වමින්, ඔවුන් තම ආණ්ඩුවේ සහයෝගය සඳහා සංවිධානය කල වෙනිසුවේලාවේ හියුගෝ චාවේස් බඳු වාමවාදී අධිරාජ්‍ය විරෝධී නායකයන් හා සසඳන කල, වීරවංශ සහය දුන් ව්‍යාපෘතියේ පන්තිමය පක්ෂපාතීත්වය මොනවට පැහැදිලි වේ. රාජපක්ෂවාදයේ සාම්ප්‍රදායික ජන පදනම වූ ගොවි ජනයා ගැන පවා මෙම ව්‍යාපෘතිය තුල වූ අවතක්සේරුව පොහොර සම්බන්ධව අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් ප්‍රකාශමාන විය. ගෝඨාභය පදනම් වූ සමාජ ස්ථරවල ‘බටහිර විරෝධය′ හුදු සංස්කෘතිකමය හා විලාසිතාමය එකක් වූ අතර, ආර්ථික අර්බුදය මතු වූ පලමු මොහොතේම එම විලාසිතාමය විරෝධය අබිබවා ‘වහ වහා IMF යම්හ′ යන උද්ඝෝෂණය ඔවුන් තුළින් ම මතු විය.

 

දක්ෂිණාංශික ජනතාවාදය

ලංකාවේ මේ මොහොතේ පවතින අධිරාජ්‍ය විරෝධී සාකච්ඡාවේ ප්‍රතිවිරෝධතාවයන් වටහා ගැනීමේ සාදෘශ්‍යයක් ලෙස 2008 වර්ෂයෙන් පසු ආර්ථික අර්බුදයට ලක් වූ යුරෝපා සංගමය වෙත සැඳහුම් කළ හැක. ආර්ථික අර්බුදය නිසා එතෙක් යුරෝපා සංගමය තුල හෙජමොනික හවුල ලෙස බලය අභ්‍යාස කළ ලිබරල් මාධ්‍යමික කඳවුර දැඩි අභියෝගයකට ලක්විය. යුරෝපා සංගමය සම්බන්ධව පැවැති ප්‍රබලතම විවේචනයක් වූයේ එය ජර්මානු ආධිපත්‍යෙයන් යුක්ත බව ය. ජර්මනිය අධිකාරිය හොබවන යුරෝපීය කොමිසම විසින් අර්බුදයෙන් පසුව, අනෙක් යුරෝපීය රටවල් මත දැඩි සමාජ කප්පාදුවලින් යුක්ත ආර්ථික වැඩසටහන් පැටවූ අතර මේ නිසා ඒ රටවල ජනයා මහත් අසරණභාවයට පත්වූ හ. ග්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය බඳු යුරෝපයේ සාපේක්ෂ ව දුබල රටවල් මෙයින් මහත් පීඩාවට පත් වූ අතර, ප්‍රංශය, ඉතාලිය වැනි සාපේක්ෂව ප්‍රබල ආර්ථිකයන් තිබෙන රටවල් ද අර්බුදයේ බලපෑමට හසු විය.

මෙම බලපෑමට ප්‍රතිචාර ලෙස යුරෝපයේ බොහෝ රටවල දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාර ඉස්මතු විය. ‘ජර්මානු ආධිපත්‍යයට′, ‘විදේශික ග්‍රහණයට′ එරෙහි විරෝධය මෙම දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාරවල ප්‍රමුඛතම සටන් පාඨයක් විය. යුරෝපා සංගමයෙන් ඉවත්ව, ජාතික ස්වාධීනත්වය අත් පත් කරගත යුතු බවට ඔවුන් ප්‍රකාශ කළ හ. ප්‍රංශයේ මරී ල පෙන්, ග්‍රීසියේ රන් අරුණෝදය පක්ෂය, බ්‍රිතාන්‍යෙය් නයිජල් ෆරාජ් බඳු පිරිස් මෙම අන්ත දක්ෂිණාංශික ප්‍රවණතාවයට නායකත්වය දුන් හ. මොවුන් ස්වදේශික ජනයා මත වූ විදේශික [ විශේෂයෙන් ජර්මානු ] ආධිපත්‍යය දැඩි ලෙස විවේචනයට පාත්‍ර කලෝය.

හැබැයි මේ විරෝධය සහසම්බන්ධ වී තිබුණේ අතිශය පටු ස්වදේශිකවාදී හා ස්වෝත්තමවාදී කතිකාවක් සමඟ ය. දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් ‘ජනතාව′ ලෙස සැලකුවේ එම රටවල ජීවත් වන සුදු ජාතිකයන්ය. සංක්‍රමණික ජනයා කෙරෙහි වූ ද්වේශයෙන් මෙම ව්‍යාපාරවල ප්‍රචාරක කටයුතු පිරී පැවැතුණි. මුස්ලිම් ජාතිකයන් විශේෂයෙන් ද්වේෂයට ගොදුරු වූ හ. යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාර නව ලිබරල් ගෝලීයකරණය ආයතනගත කළ යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිවලට පටහැණිව, ආර්ථික ජාතිකවාදය, ආරක්ෂණවාදය බඳු පිලිවෙත් වෙනුවෙන් කතා කළ බව සැබැවි. නමුත් එම කතා බහ, එම රටවල ජීවත් වන සුදු නොවන ජනයා දෙවැනි පෙල පුරවැසියන් ලෙස දකින, නින්දාසහගත සමාජ ප්‍රතිපත්තියක් සමග අත් වැල් බැඳගනු ලැබූවකි.

මෙම සැඳහුම විමල් වීරවංශ හා උත්තර ලංකා සභාගයේ ‘අධිරාජ්‍ය විරෝධය′ දේශපාලනික වශයෙන් වර්ගීකරණය කිරීම සඳහා අපට යම් ආලෝකයක් සපය යි. මෙම හවුලේ ඊනියා අධිරාජ්‍ය විරෝධය දක්ෂිණාංශික ලක්ෂණ දරන්නකි ; පටු ස්වදේශිකවාදී ලකුණු සහිත, පසුගාමී ජාතිකවාදයකි. මෙහි තිබෙන වඩාත් බරපතල කරුණ නම්, එය සිංහල ජනයා හා සිංහල නොවන ජනයා අතර භේදයක් ඇති කිරීමට කටයුතු කරන ජාතිකවාදයක් වීම යි. සිංහල නොවන ජනයා දෙවැනි පෙක පුරවැසියන් ලෙස දකින මෙම ව්‍යාපෘතිය ලංකාවේ ජනතාව එක්සත් කිරීම කෙරෙහි නොව, භේද බින්න කිරීම කෙරෙහි හේතු වන්නකි.

 

ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධය

ඊට ප්‍රතිවිරුද්ධව, අප පෙනී සිටින අධිරාජ්‍ය විරෝධය කුමක්ද? වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් අධිරාජ්‍යවාදයට විරුද්ධ වන්නේ විදේශිකයන් ගැන තිබෙන භීතිය නිසා නොවේ. වාමාංශික අධිරාජ්‍ය විරෝධය ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් මතින් පැන නගින්නකි.

පළමුව, ගෝලීය ධනවාදය අද වනවිට සංවිධානය වී තිබෙන්නේ අධිරාජ්‍යවාදය ලෙසටය. මින් අදහස් වන්නේ ලෝකය කේන්ද්‍රය හා පරිධිය ලෙස ව්‍යුහගත කොට; කේන්ද්‍රෙය් ආර්ථිකමය වාසිය පිණිස මෙම ව්‍යුහයන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යාම ය. මෙම පරාධීන සම්බන්ධය සුජාත කිරීම සඳහා නිර්මාණය වූ දේශපාලනමය, නෛතික හා සංස්කෘතිකමය උපරි තලයක් ද පවතී. කේන්ද්‍රයේ රටවල සමෘද්ධිය පරිධියේ රටවල මෙන්න මේ පරායක්තතාවය තුළින් ගලා එන්නක් වේ. මෙම පරාධීන සම්බන්ධය අහෝසි කිරීම ගෝලීය දකුණේ රටවල ජනයාගේ ස්වාධීන සංවර්ධනය හා විමුක්තිය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය කොන්දේසියකි.

දෙවනුව, ඇගයුමක් ලෙස ගත්කල, සියලු ආකාරයේ පීඩනයන්ට හා යටත් කරගැනීම්වලට වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් විරුද්ධ ය. සමානාත්මතාවය යනු ප්‍රගතිශීලී දේශපාලනයේ මූලික පරමාදර්ශයකි. මේ අනුව, කේන්ද්‍රයේ අධිරාජ්‍යවාදී රටවල් අතලොස්සක්, ලෝක ජනගහනයේ සියයට අසූවක් ජීවත් වන ගෝලීය දකුණ මත පවත්වාගෙන යන අධිකාරියට අප විරුද්ධ ය. සමානාත්මතාවයේ පදනම මත ලෝකයේ ජාතීන් අතර සම්බන්ධය ප්‍රජාතාන්ත්‍රීය ලෙස යළි සකස් විය යුතු බවට මේ අනුව අපි විශ්වාස කරමු.

ජාත්‍යන්තර වශයෙන් විවිධ ජාතීන් අතර සම්බන්ධතාවය සමානාත්මතාවය නම් විශ්වීය අදහස අනුව සකස් විය යුතු බවට තිබෙන පිළි ගැනීම, දේශීය වශයෙන් ද අදාළ ය. මේ අනුව ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධය අධිරාජ්‍යවාදයේ අධිකාරියට පමණක් නොව, තම රටවල් තුළ තිබෙන වාර්ගික, ජාතික, ආගමික, කුල හා ලිංගික ආදී වූ සියලු ආකාරවල අධිකාරවාදයන්ට, පාගාදැමීම්වලට හා නොසලකා හැරීම්වලට විරුද්ධ ය. ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධය ආවේශය ලබන්නේ ජාතික ස්වයං පූර්ණත්වය පිළිබඳ අදහසකින් නොව, මිනිසුන් අතර සමානාත්මතාවය පිළිබඳ විශ්වීය අදහසක් තුළිනි. මෙන්න මේ විධිහට අධිරාජ්‍ය විරෝධය සංකේතනය කළ විට, පටු විදේශික විරෝධය හා වාර්ගික ජාතිකවාදය ඉක්ම වූ පුලුල් චින්තනයක් ගැන සංකල්පනයක් ඇති කරගැන්මට පුලුවන.

ෆිදෙල් කැස්ත්‍රෝ, හියුගෝ චාවේස්, ඊවෝ මොරාලේස්, ලූලා ද සිල්වා බඳු ලතින් ඇමරිකානු වාමාංශික අධිරාජ්‍ය විරෝධී  නායකයන් වෙතින් පිළිබිඹු වන අධිරාජ්‍ය විරෝධය එබන්දකි. සමානාත්මතාවය පිලිබඳ අදහස තුළින් ප්‍රේරණය වූ කැස්ත්‍රෝ කියුබාවේ කලු ජාතිකයන්ට එරෙහිව සුදු ජාතිකයන් මෙහෙයවූවා නොව, කලු ජාතිකයන්ට එරෙහිව වූ අසාධාරණකම් ඉවත් කරන තැනට වැඩ කලේය. පුරුෂමූලිකත්වය පිළිබඳ ඉපැරණි සංස්කෘතික වටිනාකම් සංරක්ෂණය කරනු වෙනුවට, ස්ත්‍රිය සවිබල ගැන්වෙන විධිහේ සමාජ ප්‍රතිසංස්කරණවලට මුල පිරුවේ ය. කලාපීය වශයෙන් ගත්කල, ලතින් ඇමරිකානු ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධය තරමට නැතත්, යම් විධිහක ප්‍රගතිශීලී ගුණ පෙන්වූ ජාතිකවාදයක් ලෙස නේරුගේ කොංග්‍රසය විසින් නායකත්වය දුන් ව්‍යාපාරය සැලකිය හැක. ලෝකයේ විවිධ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපෘතීන් ගත්කල, පසුගාමී හා සංරක්ෂණවාදී ව්‍යාපාරවලට අමතරව, ඉහත කී අන්දමේ ප්‍රගතිශීලී හා ඉදිරිගාමී ලක්ෂණ සහිත නිදසුන් අපමණ පෙන්වා දිය හැක.

නේරුගේ අධිරාජ්‍ය විරෝධය සහ හින්දු ස්වෝත්තමවාදී රාෂ්ට්‍රීය ස්වයං සේවක් සංග් හි බටහිර විරෝධය එකක් නොව දෙකකි ; අපගේ උරුමය කැස්ත්‍රෝගේ, නේරුගේ, නියරේරේගේ අධිරාජ්‍ය විරෝධය මිස ‒ මරී ල පෙන්ගේ, තලෙයිබාන්වරුන්ගේ හෝ සවර්කාර්ගේ දක්ෂිණාංශික ස්වදේශිකවාදය නොවේ.

 

සටහන රමිඳු පෙරේරා

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *