ක්‍රිස්ටිනා ජෝර්ජියේවාගේ ලංකා කොලනිය

ඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පා ගමනට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය අලුත් යමක් නොවේ. 2022 ජූලි මස සිට, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ රට තුල සිදුවෙමින් තිබෙන ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදුවේ එක් අවස්ථාවක් ලෙස මෙම ම්ලේච්ඡ පහර දීම සලකුණු වේ. කිසිදු පා ගමනක් පැවැත්විය නොහැක යන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නීතිය බවට පත්ව තිබේ. මෙම නීතියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස පිලිබඳ ඇති වගන්ති හෝ එම වගන්ති අර්ථ නිරූපණය කරන විවිධ නඩු තීන්දු කිසිවක් අදාල නැත. පෙලපාලි කල නොහැක. එය ශුද්ධ වූ නීතිය බවට පත්ව ඇත. වසන්ත මුදලිගේ වේවා, අනුර දිසානායක වේවා — කිසිදු තරාතිරමක් නොබලා එම ශුද්ධ වූ ඊනියා නීතිය බලාත්මක කෙරේ. මෙය කෙතරම් තුච්ඡ ලෙස භාවිතා වේද යත්, පසුගිය දා ජාතික ජන බලවේගයේ පා ගමනට එල්ල කල පොලිස් ප්‍රහාරය අවසන් වූයේ මිනිස් ජීවිතයක් බිලි ගනිමිනි. ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පෑම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ඓන්ද්‍රීය කොටසක් වූ රටක, වීදි උද්ඝෝෂණවල සිට, හර්තාල් හා දින ගණන් ඇදෙන පාද යාත්‍රා හා ජන ඝෝෂාවලින් සමන්විත වූ විචිත්‍ර සම්ප්‍රදායක් සහිත රටක රනිල් වික්‍රමසිංහ තෙමේ මේ නටන වියරුව කිසිදු පූර්වාදර්ශයකින් තොර වූවකි.

 

පෙලපාලි පැවැත්වීම තහනම් කිරීම යනු හුදෙකලා යමක් නොවේ. මේ මොහොතේ සිදුව තිබෙන අනෙක් බරපතලම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වන, නීත්‍යනුකූලව පැවැත්විය යුතු පලාත් පාලන මැතිවරණය අත්තනෝමතික ලෙස කල් දැමීම ද සමග එක්ව මෙම මර්දනකාරීත්වය වටහා ගත යුතුව පවතී. ලංකාවේ ඉතිහාසයේ පලමු වතාවට, මුදල් නැත යන පදනම මත මැතිවරණයක් කල් දමා ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි වගන්තිය සාඩම්බර ලෙස ප්‍රකාශ කරන්නේ ඡන්ද අයිතිය මහජන පරමාධිපත්‍යෙය් කොටසක් බවය. එලෙස තිබිය දී, රනිල් වික්‍රමසිංහ තෙමේ පාර්ලිමේන්තුවේ දී හාස්‍යානුකාරයෙන් අසන්නේ ‘කල් දමන්න ඡන්දයක් කොහෙද?‘ කියාය. රනිල් වික්‍රමසිංහට හෝ ඔහුට සහයෝගය දෙන පොහොට්ටුව පක්ෂයට ජන මතයක් නැත. මැතිවරණයකට ගියහොත් තමුන් අන්ත පරාජයට පත්වන බව ඔවුහු හොදාකාරව දනිති. එලෙස දැනගෙනය, මහත් දුර දිග යන ආර්ථික ප්‍රතිසංස්කරණ ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ.

 

මැතිවරණ කල් දමමින්, සාමකාමී ලෙස විරෝධය පාන පුරවැසියන්ගේ කකුල් කඩමින් මදාවි පාලනයක් රනිල් වික්‍රමසිංහ ගෙන යන අතර, ආර්ථික පෙරමුණේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? තමුන් විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ මනා ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රශංසාවට ලක්කලේය. පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව ඇති කරගත් එකගතාවය අනුව බොහෝ ප්‍රතිසංස්කරණ ආණ්ඩුව ක්‍රියාත්මක කොට තිබේ. බදු දරා ගත නොහෙන ලෙස ඉහල දැමීම, විදුලිය හා තෙල් සඳහා වූ සහනාධාර ඉවත් කොට ඒවාවල මිල ඉහල නැංවීම, උපාය මාර්ගික රාජ්‍ය ව්‍යවසාය වෙන්දේසි කිරීම, පොලී අනුපාතිකය ඉහල දැමීම හා රජයේ වියදම් කපා දැමීම මෙම ප්‍රතිසංස්කරණ අතර වේ. මේ ප්‍රතිසංස්කරණ පසසමින්, නුදුරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය මුදලක් ලබාදීමට කටයුතු කරනු ඇති බවට පුවත් පලවෙමින් තිබේ.

 

පසුගිය අරගල සමයේ ‘IMF save Sri Lanka’ යැයි බෝඩ් අල්ලාගෙන සිටි අයට දැන් උභතෝකෝටිකයකට මුහුණ පාන්ට සිදුව ඇත. එකල අපගේ නාගරික මැද පාන්තික කොටස් අතර වූ දෘෂ්ටිවාදය වූයේ හදිසි නීති දමමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්නේ ගෝඨාභය, මහින්ද ආදී වූ ‘ගොඩේ‘ පිරිස් බවත්, IMF ඇතුලු පොත්ත සුදු ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත පැනැවූ ආදායම් බදු නිසා වික්ෂිපත්ව සිටින ඇතැම් වෘත්තිකයන් තවමත් සිතන්නේ මෙම බදු ජා.මූ. අරමුදලේ නිර්දේශය නොව, ආණ්ඩුවේ හිතුවක්කාරකම බවය. IMF දෘෂ්ටිවාදය කෙබඳු වීද යත්, IMF යනු ප්‍රජාතන්ත්‍රවාදය හා ශිෂ්ටත්වය අගයන, වංචාව හා දූෂණයට වැට බඳින, යහපාලනය අවධාරණය කරන යහපත් ගෝලීය ආයතනයක් ලෙසය සංකල්පගත වූයේ. මේ ආයතනය කෙතරම් මානුෂීය ද යත්, දිලිඳු ජනයාට සහන දැලක් පැනැවිය යුතු බවට ඔවුන් කල නිර්දේශය කර උඩ තියාගෙන ලී කෙලි නැටූ පිරිස් ද අප අතර වූහ. ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහට ක්‍රිස්ටිනා ජෝර්ජියේවා ණය නොදෙනු ඇති බවට විශ්වාස කරන බූරු ලිබරල් පැටවු අතලොස්සක් තවමත් ශේෂ වී සිටිති.

 

මේ බූරු පැටවුන්ගේ සිහින කෙසේ වුව, මේ වනවිට එක් කරුණක් පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක පෙලට සිට ගෙන සිටී. ඔවුන්ගේ සිත් යාවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ගෝලීය ආයතනයකි. වෙනත් ඕනෑම ගෝලීය ආයතනයක් සේම, ඒ තුල ද දේශපාලනයක් ඇත. එම ආයතනයට වැඩි වශයෙන් අරමුදල් සපයන ඇමරිකාව හා යුරෝපා සංගමය එය පාලනය කරයි. ලෝක බැංකුවේ හෝ ජා.මූ. ආයතනයේ ප්‍රධානීත්වය පසුගිය දශක ගණනාව පුරාවට ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් පිටට ගොස් නැත. ඇමරිකාව හා යුරෝපය නියෝජනය කරන්නේ ලෝක ජනගහණයෙන් සියයට පහලොවක් පමණ වූ අගයකි. ලෝක ජනගහණයේ සියයට අසූවක් ගෝලීය දකුණේ රටවල වාසය කරති. ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගත්කල, ගෝලීය ආර්ථිකය මෙහෙයවන ආයතනවල සැලැකිය යුතු බලයක් මේ අනුව ගෝලීය දකුණේ රටවල් සතු විය යුතුය. එහෙත් මේවා පාලනය කරන්නේ සුලුතරයක් විසිනි. ජාත්‍යන්තර ලෝක රටාව අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පවත්වාගෙන යන ගමන්ය, ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ ‘මහත්වරු‘ හා ‘නෝනාවරු‘ ලංකාව බඳු අශිෂ්ට රටවල කල යුතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන පහුගිය කාලයේ නිර්දේශ සපයනු ලැබුවේ.

 

නව ලිබරල්වාදය යනු දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල් දෙකෙහිම ජනප්‍රිය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට — එසේ නැතිනම් රාජ්‍ය පාලිත ධනවාදයට එරෙහිව ප්‍රාග්ධනය පාර්ශවයෙන් මතු වූ ප්‍රතික්‍රියාවකි. බටහිර රටවල විශ්ව විද්‍යාල හා ඇකඩමියාව ආශ්‍රිතව මුලින් මතු කල නව ලිබරල් අදහස් පලමු වතාවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද්දේ 1973 දී සමාජවාදී සැල්වදෝර් අයියන්දේගේ රජය හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දැමූ චිලී රාජ්‍යයේය. නව ලිබරල්වාදය විසින් කරන්නේ සමාජය ප්‍රචණ්ඩ ලෙස සුලුතරයකගේ අර්ථලාභය වෙනුවෙන් ප්‍රතිසංවිධානය කිරීමය. ඒ අරමුණ සහිතව දුගී හා මධ්‍යම පන්තික පිරිස් අස්වාමික කිරීමය. මිරිකා දැමීමය. ජනප්‍රිය ආණ්ඩුවකට මෙය කල නොහේ. මෙය කිරීමට නම්, ආර්ථික ප්‍රතිසංස්කරණ සමග දේශපාලන අධිකාරීත්වය සම්බන්ධ කල යුතුය. නව ලිබරල් ප්‍රතිසංස්කරණ හා දේශපාලන අධිකාරිවාදය අතර මෙම සුසම්බන්ධය සම්බන්ධ පාඩම් චිලි දේශයේ සිට තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් පසුගිය දශක කිහිපය තුල අත් වින්දාහ.

 

ලංකාව තුල අප මේ මොහොතේ අත් දකින්නේ මෙන්න මේ ප්‍රවණතා දෙකෙහි සංයුක්ත වීමකි. මහජන පරමාධිපත්‍යය අහිමි වී ඇත. මේ වනවිට ආණ්ඩුව IMF රූකඩයක් බවට පත්ව තිබෙන අතර, මේ බව ආණ්ඩුවේම ඇමතිවරු ලැජ්ජා නැතිව පිලිගනිති. ක්‍රිස්ටිනා ජෝර්ජියේවා නම් වූ ආණ්ඩුකාරවරියගේ අතවැස්සන් බවට මැති ඇමතිවරුන් පත්ව සිටිති. රටේ ආර්ථික තීරණ ගනු ලබන්නේ ඊනියා ස්වාධිපති පාර්ලිමේන්තුව නොව, මෙරට ජනයා කවදාවත් දැක නැති, ජනතාවට වග කියන්නේ ද නැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ස්වල්ප දෙනෙකි. මහ බැංකුව ‘ස්වාධීන‘ කොට රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රජාත්නත්‍රවාදී සුපරීක්ෂාවෙන් ගලවා, තමුන්ට කීකරු නිලධාරීන් අතලොස්සක් අතට පැවරීම මෙම න්‍යාය පත්‍රය තුල ක්‍රියාත්මක වන ඊලග පියවරයි.

 

ගෝලීය ධනවාදය විසින් නිර්දේශිත නව ලිබරල් ප්‍රතිසංස්කරණ හා දේශපාලන අධිකාරිවාදය යන අංගවලින් සමන්විත නව රෙජිමයක පැන නැගීම අපි අත් දකිමින් සිටිමු. පිහියට පිහිය කීම අවංක දේශපාලන විශ්ලේෂණයේ පලමු පියවරයි. මේ නිසා අප නිශ්චිතව මෙලෙස සලකුණු කරමු ; රට තුල සිදුවන සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් කප්පාදුවට රනිල් වික්‍රමසිංහ පමණක් විත්ති කූඩුවට නංවා අප නතර විය යුතු නොවෙමු. රනිල්  වික්‍රමසිංහ තරමටම, ක්‍රිස්ටිනා ජෝර්ජියේවා ඇතුලු ගෝලීය මූල්‍ය ආයතන පද්ධතිය ද මෙම සංහාරය සම්බන්ධ වග කිව යුතු වෙති. ජනතාවගේ අවනඩුව මේ දෙපිරිසටම එරෙහිව ගොනු කල යුතුව පවතී.

 

සටහන
රමිඳු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *