පසුගිය දා ජාත්‍යන්තර කම්කරු දින රැස්වීම් වේදිකාවේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් රනිල් පැරදවීම සඳහා “අන්තර්වාර ආණ්ඩුවක්” සැදිය යුතු බවට යෝජනා කළේ ය.
ලංකාවේ වර්තමාන දේශපාලන ආර්ථික තත්ත්වය ගැන පුලුල් විග්‍රහයකින් පසුව හා IMF මර උගුල පැරදවිය යුතු බවට වන විශ්ලේෂණ රාශියකින් අනතුරුව සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර දිසානායකත් එක්වී “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.
අන් කවරදාකටත් වඩා දේශපාලනිකව, පන්තිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතින, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ හා කණ්ඩායම් එක මිටකට තබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන මොහොතක නැවතත් “රනිල් එළවීම සඳහා” එසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත සියලු අපත රාශීන් එක්කොට “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.
ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම ජනතා අරගලයෙන් වසරක් ඉක්ම යන්නට මත්තෙන්, ඉතිහාසයේ පළමු වතාවට ප්‍රභූ කණ්ඩායම් සියල්ල අබිබවමින් ජයග්‍රහණය කිරීමට සමත් ජනතාව අතර පැළපදියම් වූ “නිර්ප්‍රභූ ව්‍යාපාරයක්” බවට ජාතික ජනබලවේගය පත් ව සිටින මෙන්ම එය මැනවින් විදහා දැක්වූ එම ඓතිහාසික කම්කරු දින දවසේ ම එම ලක්ෂ සංඛ්‍යාත ජනගඟට සැතපුම් කිහිපයක් නුදුරෙන් සිටගෙන, දැන් අන් සියල්ල පසෙකළා ජාතික ජනබලවේගය, සජිත් ඇතුළු අනෙක් සියල්ලන් සමඟ “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේය.
ප්‍රතිවාද අපි මෙවර සංවිධානයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය, ස්වාධීන වෘත්තීය සමිති මැයි රැළිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය යන තුනටම සහභාගී වීමට තීරණය කළෙමු. ඒ අනුව අප සාමාජිකයන් මේ රැළි තුනට සහභාගී වුණෙමු.
දේශපාලනිකව ස්වාධීන වෘත්තීය සමිති එකතුව විසින් ඒකාබද්ධ මැයි දින රැළියක් පැවැත්වීම අපි ඉතාම සාධනීය ලෙස දකිමු. ජාතික ජනබලවේගයේ ප්‍රධානතම සහ විශාලම සංවිධානය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ නගරය පුරවා දමමින් එකතු කළ ජනගඟ මඟින් ලබාදෙන පණිවුඩය මෙන්ම වෘත්තීය සමිති රාශියක් එකතුවෙමින් පැවැත් වූ රැළිය හරහා මේ මොහොතේ ලබාදෙන දේශපාලන පණිවුඩය ඉතාමත් වැදගත් බව අපි සිතන්නෙමු. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් පසුගිය අරගල සමයේ එහි පුරෝගාමීව සිටි, එහි දිශානතියට හා සටන් පාඨවලට තීරණාත්මක බලපෑමක් කළ සංවිධානයක් මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය වැනි තැනක දේශපාලනය සඳහා වැඩි බලපෑමක් කරමින් සිටින පක්ෂයක් ලෙස ඔවුන් විසින් පවත්වන රැළියට සහභාගී වීම සහ එය නිරීක්ෂණය කිරීම වැදගත් බව ද අපි තීරණය කළෙමු.
මේ අතරින් මෙවර කැපීපෙනෙන කාරණයක් වූයේ ජවිපෙ මැයි රැළිය වටා එකතු වූ ලක්ෂ සංඛ්‍යාත ජනකාය යි. එය සුවිශේෂී වන්නේ රටේ අනෙකුත් ආණ්ඩුවේ සිටින සහ නොසිටින කිසිදු ධනේශ්වර පක්ෂයක් වටා ඉන් කුඩා කොටසක් ප්‍රමාණයේ හෝ ජනතාවක එකතු කරගත නොහැකි තත්වයක් තුළ මෙය සිදුවීම යි. වෙනදාට බස් පුරවා පිරිස් ගෙනෙමින් “දැවැන්තම රැළි” පවත්වන ඔවුන් මෙවර තැන් තැන් වල කුඩා කුඩා කණ්ඩායම් එකතු කරගනිමින් ජවිපෙට සහ ජාතික ජනබලවේගයට දෙස්දෙවොල් තැබීම පමණක් සිදුකිරීම සුවිශේෂී ය. එය දේශපාලනිකව සරල නැත. එය ඓතිහාසික ය.
එහි අතිශයින්ම වැදගත් කරුණ වන්නේ සමාජයක් ලෙස දේශපාලනිකව මේ වන විට අප ළඟා වී ඇති මොහොතයි.
නිදහසෙන් පසු ලංකාවේ “ප්‍රධාන පක්ෂ” දෙක හෝ කිහිපය වටා සෑමවිටෙකම බහුතරය ලෙස ගොනු වී සිටි ජනතාව මේ වනවිට ඉන් ඓතිහාසිකව ඛණ්ඩණය වී තිබීමත්, එය නිකන්ම අරාජික වටපිටාවකින් ඔබ්බට ගොස් වාම බහුජන ව්‍යාපාරයක් වන ජාතික ජනබලවේගය වටා ගොනුවී තිබීමත් ඓතිහාසික ය. පහුගිය මාස ගණනක් පුරාම මැතිවරණ ක්‍රියාවලිය තුළත්, සමීක්ෂණ තුළත්, එදිනෙදා හැසිරීම් තුළත් මැනවින් නිරූපණය වූ එම ජනමතය සංකේතීයව පෙන්නුම් කළ මොහොතක් ලෙස ජවිපෙ රැළිය වටා එකතුවූ ලක්ෂ සංඛ්‍යාත ජනගඟ පෙන්වා දිය හැකි ය.
දශක ගණනක පරාධීන, සුවිසල් ජයග්‍රහණ ජාතික මට්ටමෙනුත්, ගෝලියවත් නොමැති වටපිටාවක ජනතා විමුක්ති පෙරමුණ විසින් වාම බහුජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජනබලවේගය ගොඩ නැඟුවේ 2018 දීය. 2018 සහ 2019 වසරවලදී ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට මුහුණ දුන් එය උරුම කරගත්තේ පාර්ලිමේන්තු ආසන තුනක් සහ “සීයට තුන” නම් වූ විසුළුසහගත නාමය වුවත් අප ඇතුළු බොහෝ මිනිසුන්ට එය බලාපොරොත්තු දල්වන ක්‍රියාවලියක් විය.
පසුගිය වසර දෙක තුළ ජනතා අරගලය ඇවිළ යන කාලයේත් ඉන් අනතුරුවත් ඔවුන් දිගින් දිගටම ගම් මට්‍ටමින් කොට්ඨාස සභා ගොඩනඟමින්, ආසන සමුළු පවත්වමින් මෙතෙක් වාම දේශපාලන කව, සංවිධාන වලට එළියෙන් සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව තම සංවිධාන ව්‍යූහයට ඇතුළ් කරගන්නා ලදී. මේ වනවිට රටපුරා කොට්ඨාස සභා 5000 කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇති අතර ඒ හරහා සෑම ගමක් ම සම්බන්ධ කරමින් දැවැන්ත සංවිධාන ව්‍යුහයක් ගොඩනඟමින් සිදුකළ සුවිශේෂී අත්හදාබැලීමක ප්‍රතිඵලය සහ පහළ පාන්තික ස්වාධීන බලවේගයක් ලෙස තනිව වර්ධනය වීමේ ප්‍රතිඵලය දැන් අප අභියස විද්‍යාමාන වෙමින් තිබේ.
වසර පහක් ඇතුළත, දැවැන්ත ජනතා අරගලයකින් පසු සියලුම සමීක්ෂණ කණ්ඩායම් වල සමීක්ෂණ අතුරින් වැඩිම ජනතා කැමැත්ත ඇති පක්ෂය බවට පත්වීම, මාස කිහිපයකට පෙර කැඳ වූ පළාත්පාලන මැතිවරණය අනෙක් සියලු පක්ෂ පරදවා ජයග්‍රණය කළ හැකි මට්ටමට පැමිණීම මෙන්ම ලංකාවේ ධනේශ්වර පාලකයන්ට තමන් මෙතෙක් ඉසිලූ සියලු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි මහ දවල් උනා දමා, තමන්ගේ කඳවුරෙන් පිටට බලය උරුම වන මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සම්මුතීන් කඩකරමින් මැතිවරණ කල්දැමීමට සිදුවීම ආදිය සැලකූ විට ජාතික ජනබලවේගය පොදුජනතාව අතර, සමාජයේ පහළ පන්තිය අතර අත්පත් කරගත් ස්ථානය මැනගත හැකි ය.
සරලවම කියතොත් මේ අවස්ථාව පන්ති අර්ථයෙන් තීරණාත්මක මොහොතකි. තමන්ගේ කඳවුරේ පක්ෂයකින් තවත් පක්ෂයකට බලය මාරුවීම සම්බන්ධයෙන් කෙදිනකවත් උන් මෙසේ හැසිරී නැත. මේ ගතකරන මොහොතේ ඓතිහාසික වැදගත්කම ඇත්තේ එතැන ය. ඔබගේ අපගේ දේශපාලන ආස්ථානයන් කෙසේ වෙතත් ඇස් ඉදිරිපිට පෙනෙන මේ යතාර්ථය දැකීමට, හඳුනාගැනීම අකමැති කිසිවෙකුට මේ මොහොතේ නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගත නොහැකි ය.
කුමාර් ගුණරත්නම් ඇතුළු පෙසප පක්ෂ නායකයින් පිරිස ජවිපෙන් කැඩීගියේ 2011 වසරේදී ය. ඉන් අනතුරුව 2012 අප්‍රේල් මාසයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල සමුළුව පවත්වන ලදී. ඒ ආරම්භක මොහොතේ ජවිපෙන් කැඩීයාම ගැන අපවෙත පළමු සාකච්ඡාව සිදුකළේ ද කුමාර් ගුණරත්නම් සහෝදරයා වන අතර එහිදී ද ජවිපෙට එල්ල කෙරුණු ප්‍රධානතම සහ මූලිකම චෝදනාව වූයේත් මෑතකාලීන ඉතිහාසය තුළ ජවිපෙ ගලවාගත නොහැකි ලෙස සභාගවාදයට වැටීමයි!
එතැන් පටන් ගතවූ වසර 12 තුළ දිගින් දිගටම දැඩි රැඩිකල් ආස්ථානයන් දරමින්, සියලු ආකාරයේ සභාග ආණ්ඩු සහ බොහෝවිට වෙනත් පක්ෂ සමඟ ගන්නා එක්සත් ක්‍රියාමාර්ග ද නිර්දය ලෙස ප්‍රතික්ෂේප කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඇතැම් විට වෙනත් පක්ෂ සහභාගීවීම නිසාම ඇතැම් නිශ්චිත ක්‍රියාමාර්ගයන්ටද සහභාගී නොවී ඔවුන් තමන්ගේ රැඩිකල් ආස්ථානයන් සනිටුහන් කරන ලදී. ඊට හොඳම උදාහරණය 2012 වසරේ සරසවි ආචාර්‍යවරුන් නායකත්වය දුන් “6%” අරගලය යි. එහිදී ගාල්ල සිට කොළඹට පැවැත්වුණු ඒකාබද්ධ පාගමනට, රනිල්-සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් පාර්ශ්වයක් ලෙස සහභාගී වීම නිසා ම, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලට ඊට සහභාගී නොවීමට තීරණය කිරීම සුවිශේෂී වේ.
ඉන් අනතුරුවද පක්ෂයක් ලෙස කුමන මට්ටමේ සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් පැවතිය ද, මේ කාරණාව සම්බන්ධයෙන් එම ස්ථාවරයේ අපගමනයක් මෑතක් වනතුරු පැවතියේ නැත.
විශේෂයෙන්ම දිගින් දිගටම කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස නායකත්වය දුන් පෙසප, තමන් ජවිපෙන් ඉවත්වී නව පක්ෂයක් ගොඩනැඟීමට ප්‍රධානම හේතුව ලෙස පක්ෂ අභ්‍යන්තරයටත්, සමාජයටත් ඉදිරිපත් කළේ “ජනතා විමුක්ති පෙරමුණ සභාගවාදයට වැටීම නිසාවෙන් ධනේශ්වර පක්ෂයන්ගෙන් ස්වාධීනව සමාජයේ පහළ පන්තිය වෙනුවෙන් බලය ලබාගැනීම අරමුණු කරගත් පක්ෂයක/ව්‍යාපාරයක අවශ්‍යතාව යි. එකල එය අපට තාර්කිකභාවයක් සහිත වූ යෝජනාවක් විය.
නමුත් ඉතිහාසයේ වත්මන් මොහොත සමඟ එදා ඉදිරිපත් කළ අදහස් කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස ගළපාගන්නේ කෙසේදැයි යන්න බරපතල ගැටළුවකි.
මෙම “සභාග තැනීමට” 2004 දී චන්ද්‍රිකා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තැනීමත්, 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට සන්ධානය සමඟ එකට වැඩකිරීමත්, 2010 දී එජාපය හා එක්ව සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් වැඩකිරීමත් ප්‍රධාන වශයෙන් ඇතුළත් ය. එකල කුමාර් ඇතුළු පෙසප නායකයන් විසින් පුන පුනා පැවසූ, අපිට හොඳින් මතක ඇති සාකච්ඡාව සහ පැහැදිලිකිරීම වූයේ “කුමන තත්වයක් යටතේ හෝ ධනේශ්වර පක්ෂ සමඟ සන්ධාන, සභාග නැත, ජවිපෙ එයින් ගැලවී නැත. අපි ඉන් මිදී වෙනම බලයක් ගොඩනඟන්නෙමු.” යන්න යි.
2004 දී බහුතර පාර්ලිමේන්තු ආසන සහිතව ස්ථාවර බලයක් තිබූ “රනිල් එළවීමට” සිදුකළ සභාග ගැසීම පක්ෂය දෙකඩ කර එළියට යාමට තරම් හේතුවක් වූ, ඊට එරෙහිව ස්ථාවරයක් ගනිමින් අලුතෙන් පක්ෂයක් පිහිටවූ කුමාර් ගුණරත්නම්ට 2023 දී කිසිදු ස්ථාවර බලයක් නැති “අටවපු ජනාධිපතිවරයෙක්” වූ “රනිල් එළවීමට”ම නැවත අන්තර්වාර සභාග ආණ්ඩු හැදීමට යෝජනා කරද්දී අපි සිනාසිය යුතුද හඬාවැටිය යුතුද යන්න අපි තවම කල්පනා කරමින් සිටිමු!
පසුගිය වසරක – වසර එකහමාරක කාලයක් මුළුල්ලේ පෙසප අවුරුදු 13 කට ආසන්න ඉතිහාසයේ වඩාත්ම රැඩිකල් දේශපාලන ආස්ථානයන් වලට ඔවුන් එළඹෙන ලදී. වර්ධනය වෙමින් ආ ජනතා අරගලය සහ ජනතාව පාරට පැමිණීමත් සමඟ “ක්‍රම වෙනසක්, බලය පාර්ලිමේන්තුවෙන් එළියට, පාර්ලිමේන්ත බලය වෙනුවෙන් සටන් කිරීම ප්‍රතික්ෂේප කර ඉන් පිටත බල ව්‍යූහයක් ලෙස මහජන කවුන්සිල් ගොඩනැඟීම” වැනි ඊට පෙර වසර 12 ම තුළ නොඑළඹුණු තරම් රැඩිකල් ආස්ථානයකට ඔවුන් පැමිණෙන ලදී. එපමණක් නොව, එසේ නොකරන බවට ජවිපෙ, ජාජබ, වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනාට විවේචනද එල්ල කරන ලදී.
ඒ සියල්ලෙන් අනතුරුව කුමාර් ගුණරත්නම් දැන් සජිත්, ඩලස් සමඟ සභාග ආණ්ඩු හැදීමට ජාතික ජනබලවේගය ඇතුළු සමාජයට යෝජනා කර සිටී!
මෙහිදී කරුණක් ලෙස සඳහන් කළ යුතු වන්නේ “මහජන කවුන්සිල් ගොඩනැඟීම” හෝ පෙසප විසින් ඉදිරිපත් කරන වෙනත් ඕනෑම යෝජනාවකට අපි විරුද්ධ නැතිය යන්න යි. එය ඔවුන්ගේ අයිතිය යි. එම උපායමාර්ග සම්බන්දයෙන් අපිට විවේචන තිබිය හැකිය. නමුත් දේශපාලනය යනු එය යි. වාමාංශික දේශපාලනය යනු එදා සිට එවැනි එකිනෙකට වෙනස් දහසක් මත ගැටුම් හරහා ඉදිරියට ඇදුණකි.
නමුත් සමාජයක් ලෙස පංතිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් තිබෙන, ඇතැම් විට 1964 යුගයට පසුව පළමු වතාවට ලාංකීය සමාජය එවන් පහළ පාන්තික ජනතා ව්‍යාපාරයක් බලය අභියසට ගෙනැවිත් තිබෙන මොහොතකට එළඹී ඇති, මෙතෙක් බලය දැරූ ප්‍රධාන ධනේශ්වර බලවේග ජනතාව විසින් සුන්ද්ධූලි කර ඇති මොහොතක, ඔවුන්ගේ බල බිඳදමා, පසෙකට තල්ලු කරදමා, ජාතික ජනබලවේගය තෝරාගෙන ඇති මොහොතක, කුමාර්ගේ පාක්ෂිකයන් ඇතුළු සමස්ථ සමාජයක් විසින් මහත් මිලක් ගෙවා, ජීවිත පරිත්‍යාගකර, ඉමහත් පරිශ්‍රමයකින් අඳින ලද එම බෙදුම්ඉරි බොඳකර දමා “සජිත් මහත්තයාට සහ අනුර සහෝදරයාට එක්ව ආණ්ඩු හදන්න යෝජනා කරන” කුමාර් ගුණරත්නම් කෙනෙකුගෙන්, ජවිපෙ නායකයන් සමඟ ඇති තමන්ගේ පුද්ගලික ආරෝවන් මත පදනම්ව, අතිශය ස්වරූපරාගී සහ ආත්මාර්ථකාමී ලෙස සමාජයක ඉදිරිගමන ආපසු හැරවීමට යෝජනා කිරීමට තරම් ග්‍රාම්‍යවන කුමාර් ගුණරත්නම් කෙනෙක්ගෙන් මේ සමාජයට අබමල් රේණුවක වැඩක් නැත!
රනිල් එළවිය යුතුය. මේ ආණ්ඩුව පරාජය කළ යුතුය. ප්‍රතිත්‍රස්ත පනත පැරදවිය යුතුය. “IMF මර උගුල” ද පැරදවිය යුතුය. ඒ සියල්ල කළ යුතුය.
නමුත් ඒ සියල්ල කළ යුත්තේ මේ සමාජීය ධ්‍රැවීකරණය ඉදිරියට ගෙනයමින් සහ නැවත කවය තුළට රිංගා ගැනීමට සජිත්, ඩලස් ඇතුළු මෙතෙක් රට පාලනය කළ ධනේශ්වර පක්ෂවල පරපුටුවන්ට කිසිදු ඉඩක් නොතබමිනි. පහළ පාන්තික බලයක් ගොඩනඟමිනි. සමාජයක ඓතිහාසික ඉදිරිගමනට වල නොකපමිනි.
එදා ඉතා ළාබාල තරුණ තරුණියන් ලෙස සිටිද්දී කුමාර් ගුණරත්නම් අපට කියූ දේ දැන් අපි කුමාර්ට කියමු.
“විවිධ හේතු වරනඟමින් ධනේශ්වර පක්ෂ සමඟ සභාග ආණ්ඩු තැනීමෙන් මේ සමාජයට කිසිදු ජයග්‍රණයක් අත්පත් කරගත නොහැකිය. අවශ්‍ය වන්නේ පහළ පාන්තික ස්වාධීන බලයක් ගොඩනැඟීම යි.”
එමෙන්ම මේ ගතවන මොහොත එදාටත් වඩා එම තර්කය අවලංගුවූ කාලයකි. 2004, 2010 හෝ 2015 යනු ජවිපෙ හෝ වෙනත් වාම ව්‍යාපාරයක් ඉදිරියේ “සන්ධාන නොගැසුවානම්” මාර නිවැරදි පැහැදිලි බලය සඳහා මාවතක් තිබුණු මොහොතවල් නොවේ. ඒවා ඓතිහාසිකවම වමට තිබුණු පරාජිත මොහොතවල් ලෙස හඳුනාගත හැකි ය. එකල සභාග ආණ්ඩු හැදීමට විරුද්ධව පොළොවේ හැපුණු, ව්‍යාපාර කඩාගෙනගොස් ඊට විරෝධය පෑ කුමාර් ගුණරත්නම්ලාට මේ වනවිට මහපොළොවේ සිදුවෙමින් තියෙන දේ නොවැටහේ නම් ඔවුන් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුය.
එමෙන්ම කුමාර්ගේ මෙම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට, එයට සුදුහුණු ගෑමට පෙසප සමාජිකයන් හෝ වෙනත් කවරෙකු හෝ සුදානම් නම් නැවතත් සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන ලෙස ඉල්ලා සිටින අතරම තමන් මෙතෙක් සිදුකරන ලද දේශපාලනය සහ වැඩකොටස පාවා නොදී හර්ද සාක්ෂියට එකඟව කටයුතු කරනු ඇතැයි අපි සිතමු.
අවසාන වශයෙන් කිවයුත්තේ මේ මොහොතේ ජනතාව යනු ලංකා ඉතිහාසයේ දැවැන්තම ජන අරගලය සිදුකළ ජනතාව බව යි. මේ වනවිට ප්‍රධාන ධනේශ්වර පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරමින් සිටින ජනතාවක් බව යි. ඒ ජනතාවට රනිල් එළවීමට මෙන්ම මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙල පරාජය කිරීමට ද වඩා නිවැරදි සහ ඉදිරිගාමී ක්‍රමවේද සොයාගැනීමට හැකිබව අපි විශ්වාස කරමු. නැවත වෙනත් වටයකින් හා වාමාංශික භාෂාවකින් ඒ ජනතාව පැරණි නඟුලටම ගැටගැසීමට අපිට වාමාංශික නායකයන් අවශ්‍ය නැත.
සරලවම කිවහොත් කුමාර් ගුණරත්නම්ට අනුව ගැළවීමේ මාවත ඇත්තේ සජිත්, ඩලස් වැන්නවුන් සමඟ සභාග ආණ්ඩු සෑදීම හරහා වුවත්, මේ මොහොතේ මේ සමාජයේ පහළ පාන්තික ජනතාව කුමාර් ගුණරත්නම්ට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටීම අපේ වාසනාවකි!
(සංවාදයට විවෘතයි)
Comments (9)
ජවිපෙ කැඩෙද්දි සාමාජිකයො පක්ෂ දෙක තෝරාගත්තෙ. කල්ගත උනු දේශපාලන අධ්‍යනයක් හෝ සොයාබැලීමකට වඩා සුලඟට විසි වෙලා දෙපැත්තට වැටුනු ගිරව් වගේ .
ඒකාලෙ මම වැටුනෙ ජවිපෙ පැත්තට. හොඳම විහිලුව කියන්නෙ සන්ධාන ගැන, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිලධාරීවාදී ප්‍රවණතා ගැන අපි එයාලට කරපු පැහැදිලි කිරීම් දැන් එයාලා අපිට කරනවා ඊටවඩා බොහොම විශ්වාසයෙන්.
පෙරටුගාමී න්ට ඇත්තටම ප්‍රගතිශීලී ගමනක් යන්න ඕනනම් මේ වෙලාවෙ කරන්න ඕන සාධාරණ විවේචන සහිතව ජා ජන බලවේගය බලයට ගෙන ඒමට සහයෝගය දීම
It is Shane on gunarathnam to suggest NPP to join another corrupted political party, SJB. I am sure Kumar is doing deal for SJB whose vote base moving to NPP.
Aniwaryen, hari adahasak..danapathi panthiye prathiwiplawayata wada…mewan pili penna wamansikayongen nirdana panthi wyaparaya rekagatha yuthuyi…jayawewa… JVP & NPP..
අපට මතකයි පක්ෂයේ වත්කම් බොහෝමයක් අරගෙන ලෝකයේ හොඳම පක්ෂය හදන්න කියලා ගියේ. අරගලයේ ඉදිරි ගමන අඩාල කර රනිල් ගේ ආගමනය තහවුරු කරන්න මූලික වුනා නොවේද ..
පක්ෂය තවත් උගුලක වට්ටවලා දාන්න වගේ හදන්නේ ..
ජාතික දේශපාල තුල අද වනවිට ජන්ද දායකයා පැමින ඇති තැනක් තිබේ. ඒ කෙසේ කුමන වේශයකින් ආවත් මෙතෙක් බලය දෑරු කිසිවෙකුටත් නැවත මේ රටේ යහපත් පාලනයක් ඇති කල නොහැකි බවට වූ මතයයි
එනිසා කුමන තත්ත්වයක් යටතේ වුවත් ජාති
ක ජන බලවේගට පාලන බලය දිය යුතු බවයි. ඔවුන් අසාර්ථක වුවත් කම් නැත. ඔවුහු අසාර්ථක වූවොත් වන හානිය ජරාජීර්න වී දැනට ඉන්නාවූ අයගෙන් වන හානියට වඩා අඩු බවට පොදු ජනතාව ගේ පිලිගැනීම වේ. එබැවින් අන්තර් ආන්ඩු වෙත යාමක් අවශ්‍යම නැත.
කවුරු කුමන දේශපාලන තර්ක ගෙන ආවත් අවසන් ජනතා කැමැත්ත මේකයි අද වන විට.
පෙරටුගාමීන් නොව මොවුන් පසුගාමින් බව තහවුරු කිරීමත් මේ මොහොතේ වැදගත්..
කුමාර් ගුණරත්නම් කවුරුන් හෝ අදින නූලකින් හසුරවන තත්ත්වයට පත්වීම පැහැදිලියි. පාර්ලිමේන්තුවෙන් එලියේ පාලනයක් පිළිබඳ පසුගිය අවුරුද්දේ අප්‍රේල්, මැයි ,ජුනි මාස වල කතා කල කුමාර් ඇතුලු පෙරටුගාමි පක්ෂය අද යූ ටර්න් (U Turn ) ගැසීමෙන් කියවෙන්නේ ඔවුන්ගේ අවසානය බවයි. ඔහුගේ උස්සාහය පැහැදිලියි. කුමාර්ගේ උත්තරීතර නායකයා සජිත් ප්‍රේමදාස යි. කුමාර් භාර ගෙන තිබෙන්නේ සජිත්ට කවදාවත් ලබා ගත නොහැකි බලය ඔහු හෝ මැදිහත් වී අරන් දීමට යි. එයට ජාතික ජනබලවේගය පටලවා ගැනීම කූමාර්ගේ බලාබලාපොරොත්තුවයි . ඒ ගොනා විකුණා ගොඩාක් කල් බව කුමාර්ට නොතේරීම ඔහුගේ දුර්වලතාවයකි.
මෙය ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් බහුතරයේ කැපවීම හා සහයෝගය ලබා ඇති මොහොතයි. රනිිල් මහින්ද රකී නම්, ඩලස් මහින්දගේ නම් සජිත් ඒ සියුටදනා වෙනුවෙන් නම් කුමාර් ගුණරත්නම් සජිත් ලගට ගියේ ක වෙනුවෙන් ද. අපිට අපි පමණි. ජනතාව වෙනුවෙන් ජාතික ජනබලවේගය නොසැලී නොපැටලී ඉදිරියට යා යුතුය.
2004 ගැන මෙන්ම වාමාංසික ව්‍යාපාරය ගැන අදහසම ඉතාම දුර්වල එකකි. වම දුර්වල වු විට ධනපති පක්ෂ සමග සංධාන ගැසිය යුතුයි කියන ප්‍රතිවාද ස්තාවරය ඉතාම දුර්වල එකකි. වම දුර්වල වුනේම අවස්තාවාදය නිසාය .
මේ මොහොතේ වම දකුන වසයෙන් බෙදීමෙදී ජාජබ නියෝජනය කරනුයේ දක්ෂිනාංසික කදවුර වන අතර ඔවුන් imf සමග කටයුකු කිරීමට සුදානම් බවද ප්‍රකාෂ කලා .
පෙසපය යෝජනා කරන අන්තර් පාලන කාලයකි එය නිශ්චිත දේවල් ඉටු කරවා ගැනීම සදහා පමනක් වු අරගලයේ බලයද එක් කරමින් කෙරෙන වැඩකි එනම් ජනතා ප්‍රකිරෝදය (resistance) ද පවත්වා ගනිමින් කෙරෙන දෙයකි එනම් ජාජබ අතිවිසාල බලයක් ඇතුව මෙතනට ඇතුල්වීම මගින් ඔවුනට ජනතා ප්‍රතිරෝදයේ බලය හිමිවනු ඇත ඒ වගේම ඔවුන් මෙයින් තව ශකිතිමත් වේ.