රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ සෘජු බලපෑම සහ බලහත්කාරය මත තැපැල් ඡන්දය කල් දමා තිබෙනවා. සමස්ත පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයක්ද සිදුකෙරෙමින් පවතිනවා. මේ තීරණය දැනුම් දුන්නේ තැපැල් ඡන්දයට දින නියම කර තිබුණු 22 දායින් සතියකට කලින්.
පහුගිය අවුරුද්දේ දේශපාලන කැළඹීම දිහා අපි බලමු. දශක ගාණක යූඇන්පි – ශ්‍රීලංකා ප්‍රධාන පිල් බෙදීමේ තට්ටුමාරු ආණ්ඩුකරණයකින් පස්සෙ, ඔවුන් විසින් 2022 වෙද්දි අපේ රට නිළ වශයෙන් බංකොලොත් රටක් බවට පත්කළා. කලින් හිටිය පාලකයන් වගේම රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා, සිරිසේනලා මේකට හරිහරියට වගකිව යුතුයි. 1977 න් පස්සෙ ක්‍රියාත්මක කළ නවලිබරල් ආර්ථික සැලැස්ම ඇතුළේ මේ බංකොලොත් වීම අනිවාර්‍යයක් බවට පත් කළා. ඒ වගේම රාජපක්ෂලා විසින් ඒක වේගවත් කළා. ඒ වගේම ගෝඨාභය ඇතුළු වියත්මඟ මොට්ට නඩය ලංකාවේ ආර්ථිකයේ මිනීපෙට්ටියට අන්තිම ඇනයත් ගැහුවා.
ලංකා ඉතිහාසයේ විශාලතම ජනතා නැඟිටීම ගිය අවුරුද්දෙ සිදුවුනේ එහි ප්‍රතිපලයක් විදියට. ලක්ෂ ගණන් පාරට බැස්සා. ගෝල්ෆේස් පිටියේ කඳවුරු ලා ගත්තා. ගම් මට්ටමින් හන්දි ගානෙ උද්ඝෝෂණ කෙරුණා. වෘත්තීය සමිති පාරට බැස්සා. දීප ව්‍යාප්ත හර්තාල් වැඩවර්ජන කෙරුණා. ඒ සාමකාමී උද්ඝෝෂණයට මැයි 9 එල්ලවුණු රාජපක්ෂලාගේ මැර ප්‍රහාරයට ඔවුන් බලාපොරොත්තු නොවූ විදියට දැවැන්ත “ජනතා ප්‍රතිප්‍රහාරයක්” එල්ලවුණා.
ඒ අරගලයේ කූටප්‍රාප්තිය විදියට ජුලි 9 ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු මර්මස්ථාන වෙඩි ප්‍රහාර වලට ලක්වෙමින් උද්ඝෝෂණයේ යෙදුන පොදු ජනතාව විසින් අත්පත් කරගත්තා. සතියක් ඒ අත්පත් කරගැනීම තිබුණා. හමුදාව පොලිසිය පැත්තකට වුණා. “රට රකින විරුවා” ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පස්සා දොරෙන් බඩගාගෙන රටින් පැනගියා. “ජනතා බලය” කොළඹ නඟරය ඇතුළේ විජයග්‍රහණයේ කොඩිය දැම්මා!
ව්‍යවස්ථාපිත බලය ඇත්තේ කොතනදැයි පසක් කරමින් පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණ තුළින් කිසිම ජනවරමක් නැති, මහමැතිවරණයත් ඉල්ලා පැරදී, ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත්ත රනිල් වික්‍රමසිංහ මේ දූෂිත ක්‍රමයේ ආරක්ෂකයා වෙමින් පාර්ලිමේන්තුවේ පොහොට්ටු බහුතරයෙන් ජනාධිපති ලෙස තෝරාපත්කර ගැනුණා. ගෝල්ෆේස් පිටියේ රැස්ව සිටි අවසන ජනකායත් මිලිටරි බලය යොදා පහරදී ඉවත්කෙරුණා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි අශිෂ්ඨ මර්දන පනත් යොදාගෙන අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් රඳවා ගැනීම දක්වා ඒ මර්දනය ඉදිරියට රැගෙන ගියා.
ඔය තමයි ගිය වසරේ අරගලයේ සාරාංශය.
නමුත් රට ඒ ආකාරයෙන්ම තව තවත් බංකොලොත් වෙමින් තිබෙනවා. ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබෙනවා. විදුලි බිල, ජල බිල, ඉන්ධන මිල, බඩු මිල ඉතා විශාල විදියට ඉහළ යමින් තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් පවා දරුණු කඩාවැටීමකට ලක්වෙමින් තිබෙනවා. අද වනවිට රෝහල්වල සැත්කම් නැවතිලා. බෙහෙත් නැහැ. වෙනදා බේරගන්න පුලුවන් මිනිස්සු බෙහෙත් සහ උපකරණ නැතිකමෙන් මැරෙනවා. දරුවන්ට පොතක් පතක් ගන්න නැහැ. කුඩා දරුවන් ළමා මන්දපෝෂණයෙන් පෙළෙනවා. ළමා මන්දපෝෂණයෙන් ආසියාවෙම දෙවෙනි තැන! ඒත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් දිනකිහිපයකට කලි හෙළිදරව් කළ විදියට, තවමත් තිබෙන සීමිත මුදල් වලින්, කොමිස් වලට, ලියාපදිංචි නැති සහ අසාදුගත සමාගම් වලින් අත්‍යාවශ්‍ය නොවන ඖෂධ ගෙන්නවන තැනක තමයි ආණ්ඩුව සිටින්නේ.
ආර්ථික අර්බුදය පුපුරා ගියේ ගිය අවුරුද්දෙ මාර්තු. දැන් අවුරුද්දක් ගතවෙලා. රනිල් රාජපක්ෂ පාලනයට අඩියක්වත් රට ඉස්සරහට ගන්න බැරිවෙලා තියෙනව. එයාල ලොස්. ඉවරයි. කට උත්තර නැහැ.
ප්‍රධාන විපක්ෂය විදියට ඉන්න සජිත් ප්‍රේමදාසගේ විහිළුකාර, විකට කණ්ඩායමටත්, නිදහස් පක්ෂය, වීරවංශගේ ජාතිවාදී කල්ලිය ඇතුළු කුඩා කල්ලිවලටත් කිසිම උත්තරයක් මේ ගැටළුවෙදි නැහැ. ප්‍රශ්නය ඇතිකළ උන්ට උත්තර නැති එක අපිට තේරුම් ගන්න පුලුවන්. ඔවුන්ට විහිළුකතා කියවමින් ඇවිදීම සහ ආයෙත් ජාතිවාදය අවුස්සමින් තමන්ගෙ ගොඩ වැඩිකරගන්න අසාර්ථක උත්සාහයක් දැරීම ඇරෙන්න කිසිම විසඳුමක් මේ ගැටළුවෙදි නැහැ.
වැදගත්ම දේ මේ රටේ සාමන්‍ය ජනතාවත් ඔවුන්ව පේන්න, දැනෙන්න, රිදෙන්න ප්‍රතික්ෂේප කරල තියෙනවා.
අන්න එහෙම තත්වයකදි තමයි අපි ජාතික ජනබලවේගය ගැන කතා කළ යුත්තේ.
මේ සියල්ල අතරේ ජාතික ජනබලවේගය තමන්ගේ බිම්මට්ටමේ ගොඩනැඟිමේ ක්‍රියාවලිය වසර එක හමාරක් තිස්සෙ ඉදිරියට අරගෙන ආවා. ලංකාවේ සෑම ප්‍රදේශයකම “ග්‍රවුන්ඩ් ලෙවල්” යාන්ත්‍රණයක් විදියට කොට්ඨාශ සභා සෑදීමේ සිට ඉහළට තමන්ගේ සංවිධානය ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මකවත් ගොඩනංවමින් සිටියා. අවුරුදු ගාණක් තිස්සේ එහි ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් රටේ දූෂණ වංචා පිළිබඳව ගොඩනැංවූ කතිකාවත පහුගිය අරගලයත් සමඟ ජනතාව වැළඳගත්තා.
වඩාත්ම වැදගත් දේ තමයි, “වාම ජනප්‍රියවාදී ව්‍යාපාරයක්” විදියට ඔවුන් සමාජයේ පහළ මට්ටමේ තීරු හැකිතාක් ඇතුළත් කරගනිමින්, පක්ෂයෙන් පිට වෙනත් ප්‍රගතිශීලී කණ්ඩායම් පුද්ගලයින් ඇතුළත් කරගනිමින්, වඩාත් ප්‍රගතිශීලී යෝජනාවලි ඉදිරිපත් කරමින් “දිනිය හැකි” ලෙස විශ්වාසයක් තැබිය හැකි බලවේගයක් ලෙස ජනතාව අතරින් ගොඩනැඟුනා. ඒ ගොඩනැංවීම සහ පුළුල් කිරීම පහුගිය අවුරුද්ද පුරාවටත්, දැනුත් සිදුකෙරෙමින් පවතිනවා.
වසරක් පමාවී හෝ එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන මැතිවරණයට දින නියම කරන්නේ එවන් පසුබිමක.
එතරම් ජනතා අරගලයක් වුනායින් පසුවත් ඔවුන් බලයේ රැඳී සිටින්නේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව, ජනාධිපතිධූරය, ප්‍රාදේශීය සභා වැනි ආයතනවල බහුතරය ඔවුන් සතුව තිබෙන නිසා. ඔවුන් මෙතෙක් පාරම්බාමින් සිටියේ “උද්ඝෝෂණ නෙමෙයි, හැකිනම් මැතිවරණවලින් ජයග්‍රහණය කර බලය ගන්න” යන්නයි. මෙතෙක් කල් මොන තරම් ජනතා විරෝධයක් තිබුණත් ඒ ක්‍රීඩාවෙදී ඔවුන් දිනුවා. මිලියන ගණන් මුදල් වීසි කරන ඔවුන්ගේ හිතාදර ව්‍යාපාරික ගොනු සහ මාධ්‍ය බලය භාවිතා කරමින් ඔවුන් දිනුවා. නමුත් දැන් ඒ සියල්ල යොදාගෙනත් ඔවුන්ට – පොහොට්ටු, යූඇන්පී, සජිත් පාර්ශ්වය, නිදහස් පක්ෂ, වීරවංශ කල්ලිය ඇතුළු කිසිවෙකුට සර්වජන ඡන්ද බලය හරහා පවා ජාතික ජන බලවේගය අභිබවා යන්න නොහැකි බව පැහැදිලිවෙන්න පටන් අරගෙන තිබෙනවා. එය බුද්ධි අංශ වාර්තා, සමීක්ෂණ තුළින් තහවුරු වී තිබෙනවා.
ආරම්භයේ පටන්ම තමන්ට දිනිය නොහැකි මේ මැතිවරණය නොපවත්වන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව හැකි සෑම උත්සාහයක්ම දැරුවා. නාමයෝජනා කැඳවීම කල් දමන්න උත්සාහ කළා. නිළධාරීන් හරහා බලපෑම් කළා. ඇතැම් අත්‍යාවශ්‍ය සේවා වලට මුදල් නැතිකම පෙන්වමින් සල්ලි නැතැයි කියන්න උත්සාහ කළා. කළ හැකි සෑම දේම කරන්න උත්සාහ කළා.
අවසානයේ මේ මොහොතේ තමන්ගේ පන්තියේ අවසන් ගැළවුම්කාර කණ්ඩායම වන සජිත් ප්‍රේමදාස පාර්ශවයට මේ මැතිවරණයෙන් ජයගන්න නිශ්චිතව නොහැකිබව තීරණය වුණායින් පස්සෙ තමයි මොවුන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නොදීමට භාණ්ඩාගාර ලේකම්ට බලපෑම් කරමින් මේ කැත සෙල්ලම කරන්න උත්සාහ කරන්නේ.
සල්ලි නැතිකම ගැන එක උදාහරණයක් පමණක් ගත්තොත්, ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි නැතැයි කියා මැතිවරණය කල්දාන්න ප්‍රකාශ කළේ ඊයේ දිනයේ. ඊට පැය 24 කට පෙර, පෙරේදා දිනයේ මැතිවරණය ඉළක්ක කරගනිමින් හාල් කිලෝ 10 බැඟින් බෙදීමට රුපියල් බිලියන 19 ක් වෙන්කරන්න ආණ්ඩුව තීරණය කරනවා. මැතිවරණ කොමිසමට අනුව මැතිවරණයට අවශ්‍ය වෙන්නේ බිලියන 8 යි.
අවුරුදු 75 කට පසු පාලක ප්‍රභූ පන්තියේ කණ්ඩායම් දෙකෙන් ඉවතට, නිර්ප්‍රභූ ව්‍යාපාරයකට මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකිලෙස නිර්මාණය වී ඇති ඓතිහාසික තත්වය බරපතලව බාරගත යුතුයි. එය සරල නැහැ. එය පක්ෂ භේද වලට යට කළ යුත්තක් නෙමෙයි.
මේ තිබෙන බංකොලොත් ආර්ථිකය සහ කඩාවැටීම, ඉච්ඡාභංගත්වය ආපසු හැරවීමේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළක් සහිත මහජන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතුයි.
පාලක පන්තිය මේ සියලු ලැජ්ජා සහගත වෙට්ටු දමන්නේ එය වැළැක්වීමට බව පැහැදිලියි. අහම්බෙන් හෝ සජිත් පාර්ශවය දිනීමට අවස්ථාවක් නැතිබව හෙළිවූ පසු සිදුකරන මේ වියරු හැසිරීමම ඒ තීරණය ගැනුමට ප්‍රමාණවත්.
දැන් සල්ලි නැතිබව කියමින් මැතිවරණය කල් දැමීමේ දුර්වල උත්සාහය ඇතැමුන් විසින් ආණ්ඩුව “අන්තිම තුරුම්පුව ගහනවා” යනුවෙන් හඳුන්වනවා. අපිට අනුව ඒ නාමකරණය වැරදියි.
තුරුම්පු යනුවෙන් හඳුන්වන්නෙ ඒ නිශ්චිත ක්‍රීඩාවේදි කාඩ් කූට්ටමේ බලවත්ම කොළ ටික. අනෙක් ලොකු කොළ කැපිය හැකි වංශය. ආණ්ඩුව තමන්ට තිබෙන අන්තිම තුරුම්පු කොළය, “තුරුම්පු ලොකු කොළය” ගිය සතියේ පාවිච්චි කළා. ඒ තමයි වික්‍රමසිංහ-වීරවංශ නිෂ්පාදනයෙන් එළියට දැමීමට උත්සාහ කළ “13 වෙනි සංශෝධනය බලාත්මක කර ජාතිවාදයෙන් තමන්ට අහිමිවූ ජනමතය නැවත බෙදාගැනීමේ” නාට්‍යය. නමුත් මේ මොහොතේ ජනතාව ධ්‍රැවීකරණය වී ඇති ප්‍රභූ-නිර්ප්‍රභූ දේශපාලන අක්ෂයේ ප්‍රභලකම නිසාම ආණ්ඩුව නොසිතූ විදියට ඒ තුරුම්පු කොළය දාන විටම උඩින් කැපී ගියා. තමන්ට හිතවත් කුප්‍රකට භික්ෂූන් පිරිසක් අසාර්ථක ලෙස පාරේ එහාට මෙහාට ඇවිද්දවීමෙන් එහාට කිසිම දෙයක් කරන්න ඊට පුළුවන් උනේ නැහැ.
“සල්ලි නැතැයි කියා ඡන්ද කල්දැමීම” යනුවෙන් මේ ගහන්නේ ඉතිරි වී තිබෙන එකම එක බාල්දු කොළය. දැන් තුරුම්පු තිබෙන්නේ පසුගිය වසරේ අරගලය තුළිනුත්, මේ හැල හැප්පීම් වලිනුත්, වෙනදාට වඩා දේශපාලනිකව සවිඥාණික වී සිටින ජනතාව අතේ.
ඉතින් ආණ්ඩුවේ මේ බාල්දු කොළය ඉදිරි දින කිහිපයේ උඩින්ම කැපී යාමට නියමිතයි!
සටහන – නජිත් ඉන්දික
Comments (0)