ලංකාවේ ග්‍රැෆයිට් සහ කොරියාවේ වානේ

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ලොස් ඇන්ජලීස් නුවර පැවතුනා.  එහිදී අනුර තම කතාවේදී ශ්‍රී ලංකාවේ ණය පියවීම සඳහා දේශීය අමුද්‍රව්‍යක් වන ග්‍රැෆයිට් යොදාගත හැකි බව සදහනක් කළා.  ඒ කියන්නේ මිනිරන් ආශ්‍රීතව එකතු කල අගය සහිත කර්මාන්තවලට (value added industries) යන්න පුළුවන් කියන එක.

 

මෙතැන බොහෝ අය අල්ල ගත්තේ හරි වචනය ග්‍රැෆයිට් ද, ග්‍රැෆීන් ද කියන සිල්ලර කොටස. හැබැයි මේ අතර, කාලයක් වාමාංශික මාධ්‍යවේදියෙක් වෙලා ඉදලා, මේ වෙනකොට නව ලිබරල්වාදියෙක් බවට පරිවර්තනය වී සිටින අජිත් පැරකුම් ජයසිංහ කියලා තිබුණා ග්‍රැෆයිට් වලින් කරන්න පුලුවන් ඒ තරම් දෙයක් නැති බව. ඔහු ගෙනෙන ප්‍රධාන තර්කය තමයි ලංකාවේ තියෙන්නේ ග්‍රැෆයිට් මෙට්‍රික් ටොන් 1, 500, 000 යි කියන එක.  මේ පුද්ගලයා ඉදිරිපත්කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ මිනිරන්  තැන්පතුව, මෙට්‍රික් ටොන් 1,500,000 යි. මොහුගේ තර්කය වන්නේ එය ඩොලර් 1500 ගණනේ විකුණුවොත් ඩොලර් බිලියන 2.25 ලැබෙන බවත්, ඩොලර් බිලියන 50ක ණයක් ගෙවීමට එය ප්‍රමාණවත් නොවන බවත්, ගෙවීමට හැකිවන්නේ ණයෙන් සියයට 5 ක් පමණක් යන්නය.   (මෙය අගය එකතු කළ භාණ්ඩයක් ලෙස අපනයනය කලොත් අප උපයන මුදල මෙයට වඩා වැඩිවිය යුතුයි)

 

මේ කථාවෙන් කියන්ට උත්සාහ කරන්නේ මිනිරින් ආශ්‍රීත කර්මාන්ත නිර්මාණය කිරීම කියන එක එතරම් තේරුමක් ඇති වැඩක් නොවන බව පැහැදිලියි. හැබැයි අපිට ප්‍රශ්නය මේ විධිහටත් අහන්න පුලුවන් ; දේශීය අමුද්‍රව්‍යක් වන මිනිරන් යොදාගෙන අගය එකතුකල භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කිරීමේ වරද කිම? වමෙන් පලාගොස් නව ලිබරල්වාදීයෙක් වු අජිත් පැරකුම් ජයසිංහ හිතන්නේ මිනිරන් නිදිය අවසන් උනාම වැඩේ එතැනින් ඉවර බවයි. එහෙම වෙන්නේ නැහැ. අපිට එවිට මිනිරන් අමුද්‍රව්‍ය හැටියට ආනයනය කර අගය එකතු කළ කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ අතින් අපි වාසනාවන්තයි. දකුණ කොරියාව වානේ කර්මාන්තය ආරම්භ කලේ තමන් සතුව කිසිදු අමුද්‍රව්‍යක් නැතිව.

 

1965 දි කොරියාව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා වානේ නිෂ්පාදනය කරන්න.  ඒ කාලයේ කොරියාව කියන්නේ අතිශයින් දුප්පත් රටක්.  මේ කාලයේ රටේ ආර්ථිකය රදා පැවතුනේ ප්‍රධාන වශයෙන් මාළු, ටංස්ටන් ලෝපස්, මිනිස් හිසකෙස්වලින් සාදන ලද බොරු කොණ්ඩා, මිල අඩු ඇඳුම් වැනි දේ විකුණා මුදල් ඉපයීම මත. නව ලිබරල්වාදීන් විදේශ වෙලඳාම තුල ආරක්ෂණවාදයට එරෙහිව යොදාගන්න න්‍යායක් තමයි සාපේක්ෂ වාසිය (comparative advantage) කියන න්‍යාය.  මේ න්‍යායට අනුව කොරියාව කියන්නේ අති විශාල ශ්‍රමයක් සහිත ප්‍රාග්ධනය අඩු රටක්.  ඒ නිසා මේ රටට වානේ නිෂ්පාදනය වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ කියන එක මුල ඉදලම තිබුන අදහසක්.

 

වානේ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් සතුව නොතිබීම නිසා කොරියාව ඊටත් වඩා විශාල ගැටලුවකට මුහුණ දුන්නා. ඒ තමයි කොරියාවේ යකඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය දෙකක් වෙන යපස්  හෝ කෝකින් ගල් අඟුරු නොතිබීම.  සීතල යුද සමයේදී චීනය සහ දකුණු කොරියාව අතර වෙළඳාමක් සිදු වුණේ නැහැ. ඒ නිසා කොරියාවට මේ ද්‍රව්‍ය ගෙන්වන්න සිදු වුණේ සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය වැනි දුර බැහැර රටවලින්.  මේකේ ප්‍රතිඵලයක් විදිහට අධික ප්‍රවාහන වියදම් හේතුවෙන් (පිරිවැය  වැඩිවෙන නිසා) වානේ නිෂ්පාදනය බෙහෙවින් මිල අධික වුණා.

 

මේ නිසා ඔවුන්ගේ සැලැස්මට සහාය ලබාගැනීමට විදේශීය පරිත්‍යාගශීලීන් සහ ණය දෙන්නන්ට ඒත්තු ගැන්වීමට කොරියානු රජයට අතිශයින් දුෂ්කර වුණා.  ඔවුන් වානේ ව්‍යාපෘතිය ආකර්ශනීය කිරීමට වරාය, මාර්ග සහ දුම්රිය මාර්ග වැනි නොමිලයේ යටිතල පහසුකම් සැපයීම, බදු සහන ලබා දීම වැනි දිරිගැන්වීම් රාශියක් ඉදිරිපත් කළා.  මේ සියලු වරප්‍රසාද තිබියදීත්, වානේ කර්මාන්තයට ආයෝජනය කරන ලෙස විදේශීය ආයෝජකයින්ට ඒත්තු ගැන්වීම තවමත් අභියෝගයක් වුණා.

 

ඔවුන් 1968 දී පොහාං යකඩ සහ වානේ සමාගම (POSCO) නමින් වානේ කම්හල ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම ආරම්භ කළේ රජය සතු ව්‍යවසායක් විදිහට.  මෙන්න මේ කියන සියලු කාරණා නිසා, ඒ කියන්නේ රජය සතු කර්මාන්තයක් නිසා, ඒ වගේම රට තුල අමුද්‍රව්‍ය නොතිබීම නිසා වගේම සාපේක්ෂ වාසි න්‍යායට අනුව වානේ කර්මාන්තය කොරියාවට සුදුසු නැති නිසාත් මානව ඉතිහාසයේ අසාර්ථකම ව්‍යාපෘතිය මෙය බව ලෝක බැංකුව පැවසුවා. ඒ අනුව ව්‍යාපෘතියට සහාය නොදෙන ලෙස ලෝක බැංකුව අනෙකුත් පරිත්‍යාගශීලීන්ට උපදෙස් දුන්නා, 1969 අප්‍රේල් මාසයේදී, ඔවුන් සියලු දෙනා නිල වශයෙන් සාකච්ඡාවලින් ඉවත් වුණා.

 

මේ සියලු පසුබෑම් නොතකා, කොරියාවට ජපානයෙන් ලැබෙන්නට තිබුන යුධ වන්දියෙන් සැලකිය යුතු කොටසක් වානේ ව්‍යාපෘතියට ලබාදීමට කොරියානු රජය ජපන් රජයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම වානේ කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික මගපෙන්වීම් ලබාදීමට ද ජපානය එකඟ වුණා.

 

POSCO සමාගම 1973 දී වානේ නිෂ්පාදනය ආරම්භ කළ අතර එය වේගයෙන් සාර්ථකත්වයට පත්වුණා.  1980 ගණන්වල මැද භාගය වන විට, එය ගෝලීය වශයෙන් ගුණාත්මක බවින් අඩු වානේ කාර්යක්ෂමව නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකු බවට පත් වුණා.  එහෙත් 1990 ගණන් වන විට එය ලෝකයේ ඉහළ ගුණාත්මක බවක් සහිත වානේ සමාගමක් වුණා. අද වෙනකොට POSCO වානේ කර්මාන්තය නිෂ්පාදනය කරන වානේ ප්‍රමාණය අනුව ලෝකයේ සිව්වන විශාලතම වානේ නිෂ්පාදකයා වනවා.  ඒ අතරම වානේ කර්මාන්තය පදනම් කරගෙන නැව් නිෂ්පාදන කර්මාන්තයටද ඔවුන් අවතීර්ණ වුණා.  අද වෙනකොට ඔවුන් ලෝකයේ තුන්වෙනි විශාලතම නැව් සැදීමේ කර්මාන්තයට හිමිකම් කියනවා.

 

දකුණු කොරියාව කියන්නෙ වාමාංශික රටක් නෙමෙයි. දකුණු කොරියාවේ උදාහරණය පෙන්නුම් කරන්නේ කම්බ හොරු නැති රටක රජයේ ව්‍යාපාර පාඩු නොලබා පවත්වාගෙන යන්න පුළුවන් කියන එක.  එංගලන්තය, ඇමරිකාව සහ ජපානය වගේ රටවල් පවා දියුණු වුණේ වෙළඳපොල නියාමනය කරගෙන, තමන්ගේ ළඳරු කර්මාන්ත දෙපයින් සිටගන්නා තුරු ආරක්ෂාව දීල. ඒක එදාට වගේම අදටත් වලංගුයි.

 

මේ නිසා අනුර දිසානායකගේ මිනිරන් කතාව වියුක්ත කතාවක් නොවෙයි.  මෙතන ඔහු කතා කරන්නේ ජාතික ජන බලවේගයේ කර්මාන්ත ප්‍රතිපත්තිය පදනම් කරගෙන. මීට ප්‍රාග්ධනය සොයාගන්නේ පෞද්ගලික අංශය හා රජය ඒකාබද්ධවද නැද්ද යන්න වෙනම කථා කරන්න පුලුවන්. මෙවැනි ප්‍රතිපත්තියකට රට ගෙන ගොස් ඩොලර් උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට යොමු කිරීම නොකළහොත් සිදු වන්නේ කුමක් ද? සිදු වන්නේ ණය ගෙවීමට තවත් ණය ගෙන, ණය උගුලක සිර වීම ය. මේ විෂම චක්‍රෙයන් ගැලවෙන්න තියෙන එකම මග, කාර්මිකකරණය සහ නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ ආර්ථිකයක් ලෙස ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම. කිසිම ජාතික කාර්මික සැලැස්මක් (national industrial plan) නැති ලංකාව වගේ රටක් ඉබාගාතේ ගියාට, යම් හෝ දියුණුවක් අත් කරගත් සියලු ගෝලීය දකුණේ රටවල් ඒ දියුණුව අත්පත් කරගත්තේ යම් කාර්මික සැලැස්මක් අනුව ආර්ථිකය සංවිධානය කිරීම හරහා. මේක තමයි ග්‍රැෆයිට් කථාවෙන් අපි ගන්න ඕනෙ පාඩම.

 

මිගාර රත්නායක

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *