ශ්‍රී ලංකා මහ බැංකුව ‘ස්වාධීන’ කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මහ බැංකුව ස්වාධීන කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආණ්ඩුව මත පනවා තිබෙන එක් කොන්දේසියකි. මෙම අදහස පිලිබඳ ආර්ථික විද්‍යාඥ හාවඩ් නිකලස් පසුගිය දා සිරස රූපවාහිනියේ වැඩසටහනක සම්බන්ධ වෙමින් පල කල අදහස්වල පරිවර්තනයක් පහත පල වේ. අදාල පනත පිලිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් ප්රතිවාද කණ්ඩායම විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇත.
අපි හැම වෙලාවේම ප්රජාතන්ත්රවාදය හා විනිවිදභාවයේ වැදගත්කම ගැන කථා කරනවා. මේ ගැන අපිට තිබෙන්නේ එක්තරා ආකාරයක අර්චනයක්. ඒත් මේ වෙනකොට ආණ්ඩුව ගැසට් කරලා තිබෙනවා අලුත් පනතක් ; මේ පනතේ අරමුණ තමයි අතිශය වැදගත් ආයතනයක් වන මහ බැංකුව මත වන ප්‍රජාතාන්ත්‍රික පාලනය ඉවත් කිරීම.
අපි අපේ ආදර්ශය ලෙස සලකන්නේ එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් ආයතනය. ඒ අදාල ආයතනය ‘ස්වාධීන‘ නිසා. ඒත් ගොඩක් අයට වැටහෙන්නේ නැහැ, ෆෙඩරල් රිසර්ව් ආයතනය ඇත්ත වශයෙන්ම වාණිජ බැංකුවල පාලනයට යටත් බව. මෙම ආයතනය වාණිජ බැංකුවල බලපෑමෙන් ස්ථාපිත කරන ලද්දේම කොංග්‍රසයේ සුපරීක්ෂණය මග හැරීම සඳහා. එක්සත් ජනපදයේ තිබෙන වඩාත්ම ප්රජාතන්ත්ර විරෝධී ආයතනය තමයි ෆෙඩරල් රිසර්ව් ආයතනය. එය කිසිදු විටෙක ගිනුම් ඉදිරිපත් කරන්නේ නැහැ. එහි ප්‍රතිපත්ති කිසිදු විටෙක කොංග්‍රසය තුල ප්‍රශ්න කල නොහැකියි. ඉතිහාසයේ සිදුකල විශාලතම මුදල් අච්චු ගැසීමේ අත්හදා බැලීම මගින් මේ වනවිට ෆෙඩරල් රිසර්ව් ආයතනය ලෝකයේ ආර්ථිකය විනාස කරලා තිබෙනවා ; ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 6.7 ක්, මිලියන නෙමෙයි ට්‍රිලියන 6.7 ක් ධනවතුන්ගේ වාසිය සඳහා පවරා දී තිබෙනවා. ඒ කිසිදු පනතක අනුමැතිය නොමැතිව. ඡන්දයෙන් තේරී පත් නොවූ, මහජන සුපරීක්ෂාවෙන් තොර, ප්රජාතන්ත්ර විරෝධී ආයතනයක හැසිරීම එබඳුයි.
බටහිර රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම රටක් වෙතම, තම තමන්ගේ මහ බැංකු ස්වාධීන කල යුතු බවට බලපෑම් කරමින් සිටිනවා. අපිත් ඔවුන්ගේ අඩි පාරේ යා යුතු බවයි ඔවුන්ගේ අදහස. එහෙම කලහම, කාවද අනාගතයේ දී ඡන්දයෙන් තෝරන්නේ කියන එක අදාල නැහැ. මොකද මේ තමයි ප්‍රධාන ආර්ථික ආයතනය. මූල්‍ය ප්‍රතිපත්තිය හරහා ඕනෑම ආණ්ඩුවක් තැනීමට මෙන්ම විනාශ කිරීමටත් මහ බැංකුවට පුලුවන්. යෝජිත පනත සම්මත කලාට පසුව, කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට. කෝ එතකොට පාරදෘහ්යභාවය? කෝ එතකොට ප්රජාතන්ත්රවාදය? මෙතන තියෙන්නෙ සම්පූර්ණ දෙබිඩිකම.
ප්රජාතන්ත්රවාදී කියන ඇමරිකාවේ තිබෙන ආර්ථිකය සම්බන්ධ බලගතුම ආයතනය ජනතාව වග නොකියන, ඡන්දයෙන් තේරී පත් නොවූ ආයතනයක්. මම හොඳ උදාහරණයක් කියන්නම්. ජනාධිපති වීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් එක් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි, ෆෙඩරල් රිසර්ව් ආයතනය පාලනය කරන්ට තමුන් කටයුතු කරන බව. ජනාධිපති වූ පසුව, ෆෙඩරල් රිසර්ව් ප්‍රධානී ජැනට් යේලන්ව ඔහු ධවල මන්දිරය වෙත කැඳවූවා. විනාඩි පහලොවකට පසුව, ජැනට් යේලන් එලියට එනවා, ඔලුව නමාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට පස්සෙන් එනවා. ‘මම ෆෙඩරල් රිසර්ව් ප්‍රධානියා කී දේ ගැන සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් වෙනවා‘ – ඔන්න ඕක තමයි එලියට ආපු ට්‍රම්ප් කීවේ. මොකක්ද ඔහුට යේලන් දුන්න පණිවුඩය? ‘ඔහේට කැමති දේකට අත ගහන්න පුලුවන්, ඒත් ෆෙඩරල් රිසර්ව් එක හැර. මේක තමයි ධනවත් ප්රභූන්ගේ බැංකුව’.
මහ බැංකුව ස්වාධීන කරන්න කියලා කියන යෝජනාවේ අරමුණ තමයි මේ අතිශය වැදගත් ආයතනය මත තිබෙන ප්‍රජාතාන්ත්‍රික පාලනය ඉවත් කිරීම. ඉන්පසුව, මොන ආණ්ඩුව බලයට ආවත්, තමන්ගේ රට තමුන් කැමති විධිහකට පාලනය කරන්න ලැබෙන්නෙ නැහැ. ප්රශ්නය ඔවුන් වර නගලා තිබෙන විධිහට, මහ බැංකුව ස්වාධීන කරනවා කීවහම, කවුරුත් වැඩිපුර ප්‍රශ්න අසන්නෙ නැහැ. නමුත් මාව විශ්වාස කරන්න, මේක කලොත්, ඔබට ඊට පසුව සම්මුඛ වෙන්නේ මධ්‍යම බැංකුවේ සිටින නිලධාරීන් පිරිසක් පමණක් නෙවි ; ලෝකය පුරා මේ කාර්යයේ නියුක්තව සිටින අන්තර්ජාතික සාමූහිකයක් ඔබට අභිමුඛ වෙනවා. මහ බැංකුව ස්වාධීන කලාට පසුව, කවුරු ඒක පාලනය කරාවි කියල ද ඔබ සිතන්නෙ? ලංකාවේ ජනතාව? නැහැ. අඩුම තරමින් ලංකාවේ ධනවත් ප්‍රභූන් හෝ නෙවි, ඊලගට පාලනය යන්නේ විදේශීය මූල්‍ය ධනපතීන් අතට. ඔවුන් මහ බැංකුව හරහා අපගේ ආර්ථිකය පාලනය කරනු සහතිකයි.
පරිවර්තනය
රමිඳු පෙරේරා
Comments (0)